මියුසියස් විද්‍යාලයේ ‘Pink Day Allies’ සංවිධානය මඟින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම එම විද්‍යාලයේ පීටර් ද අබෲ ශ්‍රවණාගාරයේදී ඊයේ (7) පැවැත්වුනි.

රට සුවපත් කිරීම සඳහා හොඳම සේවා සපයන්නන් දරුවන් වන බැවින්, පියයුරු පිළිකා පිළිබඳව දේශය දැනුවත් කිරීම උදෙසා මියුසියස් දියණියන් පුහුණු කිරීමට ‘රෝස බදාදා’ දිනය යොදාගත් බව මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි සංජීවනී බණ්ඩාර මහත්මිය මෙහිදී සදහන් කලාය.

පෙර දැනුවත්භාවය ඔස්සේ පහසුවෙන්ම නිවාරණය කරගත හැකි පියයුරු පිළිකා සම්බන්ධයෙන් අතිශයින්ම අවදානමට ලක්ව ඇති කාන්තා පරපුර දැනුවත් කිරීම මඟින් සේවය සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ බව පෙන්වා දුන් විදුහල්පතිනිය, වසරක කාලයක් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන යාමේදී, සෑම බදාදා දිනකම රෝස පැහැති පාසල් ටයි පටියක් පැළඳ මියුසියස් දියණියන් පිළිකා කල්තියා හඳුනාගැනීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමට කැපවී කටයුතු කළ ආකාරයද සිහිපත් කළාය.
මෙම සත්කාරය සඳහා අනුග්‍රහය දැක්වූ ඉන්දිරා පිළිකා භාරයටද විදුහල්පතිනිය මෙහිදී සිය ස්තූතිය පිරිනැමූවාය.

2025 වසරේ ඔක්තෝබර් 08 වන දින ආරම්භ කරන ලද මෙම වැඩසටහන, මියුසියස් විද්‍යාලීය ප්‍රජාව තුළ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, පියයුරු සෞඛ්‍යය පිළිබඳ දැනුවත් සාකච්ඡා දිරිගැන්වීම, සෞඛ්‍ය ගැටලු සඳහා කඩිනමින් අවධානය යොමු කිරීම සහ රෝගයෙන් පීඩාවට පත් වූවන්ට සහයෝගය දැක්වීම අරමුණු කරගනිමින් පිහිටුවන ලදී.

පසුගිය වසර පුරා, මෙම ‘පිංක් ඩේ ඇලයිස්’ (Pink Day Allies) වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ ඉංදිරා පිළිකා භාරයේ (Indira Cancer Trust) මාර්ගෝපදේශකත්වය යටතේ ක්‍රියාත්මක වන අඛණ්ඩ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස වර්ධනය වී ඇත. නිවැරදි සහ වෛද්‍යමය වශයෙන් තහවුරු කළ තොරතුරු ලබා දීම අවධාරණය කරමින්, සිසුවියන් මෙන්ම ආචාර්ය මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ඉලක්ක කරගනිමින් අධ්‍යාපනික දේශන, වැඩමුළු සහ වැඩසටහන් මාසික දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් පවත්වන ලදී.

සෑම මසකම පළමු සතියේ බදාදා දිනය සිසුවියන් රෝස පැහැ ටයි පටියක් පැළඳීම මගින් පාසල් ප්‍රජාව තුළ මෙම වැඩසටහන දෘශ්‍යමාන පැවැත්මක් පවත්වා ගෙන ගොස් ඇත. මීට අමතරව, වසර පුරා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය සහ සෞඛ්‍යය, සහයෝගය සහ කරුණාව වටා ඇති සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපනික වීඩියෝ පාසල් ප්‍රජාව අතර ප්‍රචාරණය කර ඇත.

දැනුවත්භාවයෙන් හා අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස්, ‘පිංක් ඩේ ඇලයිස්’ විසින් අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඇතුළුව ප්‍රජා සහයෝගය සඳහාද තම උත්සාහය පුළුල් කර ඇත.

ප්‍රධාන ආරාධිතයන් ලෙස කොළඹ මියුසියස් විද්‍යාලීය විදුහල්පතිනී සංජීවනී බණ්ඩාර, ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය, සහ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර සහභාගී වූ පළමු සංවත්සර වැඩසටහන මියුසියස් විද්‍යාලීය සිසුවියන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ඉංදිරා පිළිකා භාරයේ නියෝජිතයින් සහ එහි පළමු වසර තුළ මෙම වැඩසටහනට දායක වූ අනෙකුත් පාර්ශවකරුවන් ගේ ද සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *