Views: 412 දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 21ක ජනතාව පීඩාවට පත්ව සිටින අතර, 2026 ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 6.00 වන විට වාර්තා වී ඇති තොරතුරු අනුව පුද්ගලයන් 10,311 දෙනෙකුට එහි බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවට අනුව, පවුල් 2,826කට අයත් පුද්ගලයන් 10,311 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්යාව 12කි. තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටියි. වැසි සහිත කාලගුණය හේතුවෙන් නිවාස 28ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර, නිවාස 1,807කට අර්ධ හානි සිදුව තිබේ. පවුල් 23කට අයත් පුද්ගලයන් 67 දෙනෙකු ආරක්ෂිත මධ්යස්ථාන තුනක රඳවා සිටින බව ද එම වාර්තාවේ සඳහන් වේ. අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ. පවතින වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් ජලාශ වෙත ලැබෙන ජල ප්රමාණය ඉහළ යෑමත් සමඟ දැදුරු ඔය, රාජාංගනය සහ තබ්බෝව යන ජලාශවල ජල මට්ටම් පාලනය කිරීම සඳහා වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් අදාළ ජලාශවලට පහළින් පිහිටි ගංගා සහ ඔය ආශ්රිත ප්රදේශවල ජනතාව ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂවරයා විසින් ලබාදුන් තොරතුරුවලට අනුව, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඒ ඔස්සේ තත්පරයකට ඝන අඩි 10,400ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහැරේ. මේ අනුව, දැදුරු ඔය ජලාශයට පහළින් ඔය ආශ්රිතව පදිංචි ජනතාව ජල මට්ටම්වල වෙනස්වීම් පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු අතර, වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල නිවේදන කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මේ අතර, රාජාංගනය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා වාන් දොරටු හයක් විවෘත කර තිබේ. ඉන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, තවත් දොරටු දෙකක් අඩි තුන බැගින් ද, ඉතිරි දොරටු දෙක අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂවරයා සඳහන් කරයි. එම වාන් දොරටු ඔස්සේ තත්පරයකට ඝන අඩි 3,800කට අධික ජල ප්රමාණයක් කලා ඔයට මුදාහරින බව ද වාර්තා වේ. පෙරවරු 9.00 වන විට එම ජල මුදාහැරීම තත්පරයකට ඝන අඩි 8,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කර තිබේ. කෙසේ වෙතත්, ජලාශයේ පෝෂක ප්රදේශවලට ලැබෙන වර්ෂාපතනය සහ ජලාශයට ගලා එන ජල ප්රමාණය අනුව වාන් දොරටු විවෘත කර තබන ප්රමාණය වෙනස් විය හැකි බැවින් රාජාංගනය ජලාශයට පහළින් කලා ඔය ආශ්රිත ප්රදේශවල පදිංචිකරුවන් ගංගාවේ ජල මට්ටම පිළිබඳව අවධානයෙන් සිටීමත්, අදාළ බලධාරීන් නිකුත් කරන යාවත්කාලීන නිවේදන අනුව කටයුතු කිරීමත් වැදගත් බව සදහන් කර සිටී. මී ඔය ගංගා ද්රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේ ද ජල ප්රමාණය පාලනය කිරීම සඳහා වාන් දොරටු දෙකක් අඩි භාගය බැගින් පෙරවරු 9.30 වන විට විවෘත කිරීමට අපේක්ෂා කර තිබේ. ඒ අනුව, තබ්බෝව ජලාශයට පහළ ප්රදේශවල මෙන්ම මී ඔය දෙපස පදිංචි ජනතාව ද ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල උපදෙස් පිළිපැදීම වැදගත් වේ. මීට අමතරව, ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අද (26) පෙරවරු 6.00 ට නිකුත් කල වාර්තාවට අනුව, නෝර්ටන්, කැනියොන් සහ ලක්ෂපාන ජලාශවලින් ද ජලය මුදාහැරෙමින් පවතී. නෝර්ටන් ජලාශයෙන් තත්පරයට ඝන මීටර් 16.99ක් ද, කැනියොන් ජලාශයෙන් තත්පරයට ඝන මීටර් 26.55ක් ද, ලක්ෂපාන ජලාශයෙන් තත්පරයට ඝන මීටර් 21.24ක් ද මුදාහැරෙන බව එම වාර්තාවේ දැක්වේ. ජලාශවලට ලැබෙන ජල ප්රමාණය සහ වර්ෂාපතන තත්ත්වය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්රමාණයන් වෙනස් විය හැකි බැවින්, අදාළ ප්රදේශවල ජනතාව යාවත්කාලීන නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ගංගා සහ ඔය ආශ්රිතව ජල මට්ටම් ඉහළ යන අවස්ථාවලදී ජලයට බැසීමෙන් වැළකී සිටීම සහ අවදානම් සහිත ස්ථානවල රැඳී නොසිටීම ද ආරක්ෂාව සඳහා වැදගත් බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සදහන් කරයි. නායයෑම් අවදානම් ප්රදේශවලට තවදුරටත් අවවාදාත්මක නිවේදන. නායයෑම් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ඔක්තෝබර් 25 වැනිදා රාත්රී 10.00ට නිකුත් කර ඇති අතර, එය ඔක්තෝබර් 26 වැනිදා රාත්රී 10.00 දක්වා අදාළ වන පරිදි සඳහන් කර තිබේ. එම නිවේදනයට අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇත. ගාල්ල දිස්ත්රික්කයේ තවලම ප්රදේශය ද, කළුතර දිස්ත්රික්කයේ මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ වලල්ලාවිට ප්රදේශ ද එම නිවේදනයේ සඳහන් වේ. කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට සහ මාවනැල්ල ප්රදේශ ද, නුවරඑළිය දිස්ත්රික්කයේ නෝර්වුඩ් සහ අඹගමුව කෝරළය ද ඊට ඇතුළත්ය. එමෙන්ම, රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, අයගම සහ රත්නපුර ප්රදේශ ද අවවාදාත්මක නිවේදනයේ සඳහන් කර තිබේ. අදාළ නිවේදනයේ ප්රදේශ අනුව අවදානම් මට්ටම් වෙනස් වන බැවින්, තම ප්රදේශයට අදාළ නිශ්චිත අනතුරු ඇඟවීම පිළිබඳව ජනතාව අවධානයෙන් සිටීම වැදගත්ය. විශේෂයෙන්ම, තද වැසි පවතින අවස්ථාවලදී බෑවුම් ආශ්රිත භූමියේ ඉරිතැලීම්, පස් කඩා වැටීම් හෝ ජලය අසාමාන්ය ලෙස ගලා ඒම වැනි වෙනස්කම් දක්නට ලැබේ නම් ඒවා නොසලකා හැරීමෙන් වලකින ලෙසයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර, ඔක්තෝබර් 25 වැනිදා රාත්රී කාලයේදී ආපදා සිදුවීම් කිහිපයක් ද වාර්තා වී තිබේ. පුත්තලම දිස්ත්රික්කයේ හලාවත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැල්ලවාගාරය ග්රාම නිලධාරී වසමේ ඇළ මාර්ගයකට පුද්ගලයෙකු වැටී අතුරුදන්ව ඇති බවට ඔක්තෝබර් 25 වැනිදා රාත්රී 10.10ට පමණ තොරතුරු වාර්තා වී තිබෙන බව පුත්තලම දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වාර්තා කර ඇත. කොළඹ දිස්ත්රික්කයේ කොලොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීතොටමුල්ල ප්රදේශයේ ආයතනයක නවතා තිබූ වෑන් රථයක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම රථයට හානි සිදුව ඇති අතර, ගාල්ල දිස්ත්රික්කයේ අම්බලන්ගොඩ ප්රදේශයේ අලුත්වල පිහිටි ලංකා බැංකු ගොඩනැගිල්ලේ විදුලි ජනක යන්ත්රය පිහිටි කාමරයේ ගින්නක් හටගත් බවත් එය ප්රදේශවාසීන් සහ බටපොළ පොලිස් ස්ථානය එක්ව එය පාලනය කර ඇති බවත් වාර්තා වේ. දුම්රිය ධාවනයට බාධා – මාර්ග යථා තත්ත්වයට අයහපත් කාලගුණික තත්ත්වය මධ්යයේ උඩරට දුම්රිය මාර්ගයේ සහ පේරාදෙණිය–මාතලේ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා පවතින බව ද වාර්තා වේ. ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව, ගම්පොළ සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය සිදු නොවන අතර, නානුඔය සිට බදුල්ල දක්වා පමණක් දුම්රිය ධාවනය කෙරේ. එමෙන්ම, පේරාදෙණිය සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය ද සිදු නොවන බව වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, අද (26) පෙරවරු 6.00 වන විට රථවාහන සදහා මාර්ග අවහිරතා සියල්ල ඉවත් කර මාර්ග යථා තත්ත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය වාර්තා කර සිටී. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කාලගුණය, ජලාශවල ජල මට්ටම් සහ නායයෑම් අවදානම් සම්බන්ධයෙන් නිකුත් කරන නිල නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන්ම ගංගා සහ ඔය ආශ්රිත ප්රදේශවල පදිංචිකරුවන් ජල මට්ටම් ඉහළ යෑම පිළිබඳව විමසිලිමත් විය යුතු අතර, අවදානම් සහිත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී. Post navigation බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නැහැ – නිරිතදිග ප්රදේශවල වැසි වැඩිවීමේ අවදානමක්