හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව සැකපිට හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ යන අයව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගැනේ.

හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසු වූ තරුණයකු මියයාමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය විසින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත අද (28) නියෝග කර තිබුණා.

මෝසමක් ඉදිරිපත් කර මියගිය පුද්ගලයාගේ ඥාතීන් අධිකරණයට කල කරුණු දැක්වීමක් කල අවස්ථාවේදී එකී නියෝගය නිකුත්කල මහේස්ත්‍රාත්වරිය විසින් තවදුරටත් පොලීසියට නියෝග කරන ලද්දේ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයා සමග අත්අඩංගුවට ගත් අනෙක් තරුණයා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට‍යි.

එකී නියෝග මත අද පස්වරුවේ හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළව ඔහු ඇතුළු එම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ මේ වන විට තහනම් කර ඇති පසුබිමකයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ.

අත් අඩංගුවට ගත් අනෙක් තරුණයාටත් පහරදී ඇති බවට චෝදනා.

මේ අතර, හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් වරුණ මධුසංක නමැති තරුණයාටද පොලිස් අත්අඩංගුවේදී පහර දුන් බවට චෝදනා කරමින්, ඔහුගේ මව සංවේදී අනාවරණයක් සිදුකර තිබේ.
”එයා ගේ නම වරුණ මධුසංක.. එයා සිගරට් එකක් ගන්න ආපු වෙලාවේ ඉෂාර ඉඳලා පිටිපන හන්දියට යන්න කියලා තමයි අඬගහලා තියෙන්නේ සයිකලේ, අපේ පුතා ගිහිල්ලා. ඒ වෙලාවේ තමයි පිටිපන හන්දියේ දී ඉෂාරව අල්ලගෙන තියෙනවා පොලිසියේ, එයාව අල්ලගන්න හදනකොට මෙයා සයිකලේ ඒගොල්ලන්ගෙ මාමාන්ඩියලගෙ ගෙදර දාලා ගෙදර ආවෙත් නෑ ,ගෙවල් වලට ටිකක් පහළ ගෙයක තමයි මෙයා හැංගිලා ඉඳලා තියෙන්නේ.
පොලිසියෙන් ආවහම අපි ඇහුවහම මුකුත් කිව්වේ නෑ. මධු ඉන්නවද කියලා ඇහුවා.. මම කිව්වා නෑ සර්, ගියා සිගරට් එකක් ගේන්න තාම ආවේ නෑ කියලා. ඊට පස්සේ අපි ඉස්සරහට එනකොට දැක්ක මධුට ගහලා ලේ වැක්කෙරෙනවා, මම කෑගැහුවා මගේ බුදු පුතේ කියලා. ජීප් එකකට දාගෙන ගියා.. ගිහින් ඒ වෙලාවේ ඉඳලා පාන්දර පහ වෙනකන් ගැහුවා කියලා එයා කියනවා. මම උදේ බලන්න යනකොට එයාට ඇවිද ගන්න බැහැ, කට ඇරගන්නත් බැහැ , අත මෙතනින් පල්ලෙහා කඩලා. ඊට පස්සේ ඇප දෙන්නම් කියලා පොලිසිය ඇතුලේ තියාගෙන හිටිය, ඊට පස්සේ අට හමාරට කිව්වා ඇප දෙන්නේ නැහැ, හෙට පොලිස් ඇපයකට එළියට දාන්නම් කියලා,
මම උදේ හතට යනකොටත් මගේ පුතාට ඇවිද ගන්න කරගන්න බැහැ. මම කිරි පැකට් එකක් අරගෙන කටට හරවලා තමයි එයාට පෙව්වේ. සර් කෙනෙක් මට කිව්වා අම්මා අඬන්න එපා, අම්මා උසාවියට යන්න, ඔයාගේ පුතාට කියන්න කිව්වා ගැහුවේ නැහැ, කට උත්තරයක් ගන්න අරගෙන ගියේ, උඹ මධු කියහං උසාවියෙදි ගැහුවේ නැහැ කට උත්තරයක් ගන්න ගෙනිච්චේ කියලා..
ඊට පස්සේ මම උසාවියට ගියා, උසාවියට ඇවිල්ලා මම ලෝයර් කෙනෙක් ඇල්ලුවේ නැහැ, ඒගොල්ලන් එපා කිව්ව හින්දා, කුඩු කිලෝ එකක් දාලා මෙයාව දානවා කිව්වා, අපි බය වුණා, අයිස් කෑල්ලක් දාලා තමයි එයාව මේ එළියට දෙනවා කියලා කිව්වේ, අපි ඉතින් උසාවියේ බලාගෙන හිටියා ළමයාව ගන්න. ඊට පස්සේ නඩුකාරතුමා කිව්වා එකොළොස් වෙනි මාසේ නව වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා කියලා. තාම රෝහල් වලටවත් දාලා නැහැ.. ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මගේ දරුවාටත් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා.” යනුවෙන් වරුණ මධුසංක නමැති තරුණයාගේ මව ප්‍රකාශ කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed