Views: 242 බෙංගාල බොක්ක ආශ්රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බැවින් ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ සහ මාධ්ය ප්රකාශක ප්රදීප් කොඩිප්පිලි මහතා පවසයි. අද (25) මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ සමගම, පළාත් කිහිපයකට තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අද (25) පෙරවරුවේ වාර්තා කළ පරිදි, බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන බවත් සදහන් වේ. එම පීඩන අවපාතය උතුරු අක්ෂාංශ 15.1 සහ නැගෙනහිර දේශාංශ 91 ආසන්නයේ කේන්ද්රගතව පවතින අතර ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බව ද වාර්තා වේ. මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්යම පළාත්වලත්, උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එසේම, ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බැවින් ජනතාව අවධානයෙන් පසුවීම වැදගත් වේ. මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර තද සුළං පවතින අවස්ථාවලදී ගස් කඩා වැටීම, අතු කඩා වැටීම සහ දේපළවලට හානි සිදුවීමේ අවදානම පිළිබඳව ද ජනතාව සැලකිලිමත් විය යුතුය. පවතින වැසි තත්ත්වය හමුවේ කඳුකර ප්රදේශවල ජීවත් වන ජනතාව නායයෑම් අවදානම් ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතු බවත් ප්රදීප් කොඩිප්පිලි මහතා පෙන්වා දුන්නේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලබන නායයෑම් අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. රාජාංගනය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහළ ජලපෝෂක ප්රදේශවල සහ ගංගා ආශ්රිතව ජීවත් වන ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව ද ඔහු සඳහන් කළේය. ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතින ප්රදේශවල ජනතාව නිල දැනුම්දීම් පිළිපදිමින් අවශ්ය ආරක්ෂිත පියවර ගත යුතු බවත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය සදහන් කරයි. එමෙන්ම, පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශවල කටයුතුවලින් වැළකී සිටින ලෙස ද දැනුම් දී තිබේ.කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් බවත් ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සහ සහාය ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්රියාත්මක බවත් දන්වා සිටී. පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ ආයතන විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන සහ උපදෙස් අනුගමනය කරන ලෙසත් සියලු ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්යස්ථානය ඉල්ලා සිටියි. Post navigation Young Sri Lankan Shares Buddhist Teachings Through Social Media. ප්රබල වැසි සහිත කාලගුණයෙන් දිස්ත්රික්ක 21කට බලපෑම් – පුද්ගලයන් 12ක් මරුට. 10,311 දෙනෙකු පීඩාවට.