Views: 243 ඓතිහාසික පේරාදෙණිය ගැටඹේ ශ්රී රාජෝපවනාරාමයේ අභිනව විහාරාධිපති ධුරයට පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමියන් පත් කර තිබේ. ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය ද හෙබවූ අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ විහාරාධිපති ධුරය සඳහා මෙම පත්වීම සිදුකර ඇත. ඒ අනුව, අපවත්වී වදාළ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැති ඔක්තෝබර් 21 වැනිදා රාත්රියේ ගැටඹේ රාජෝපවනාරාමයට රැස්වූ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර දකුණ ප්රාදේශික සංඝ සභාව සහ මහා සංඝරත්නය විසින් නව විහාරාධිපති හිමියන් පත් කරනු ලැබූහ. 1991 වසරේ මාතර අකුරැස්සේ උපත ලැබූ පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමියෝ 2002 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වූහ. කඩවත රන්මුතුගල මහා විහාරයේදී සීලගම විමල මහා ස්වාමීන්ද්රයන් වහන්සේගේ සහ ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් විහාරාධිපති මහෝපාධ්යාය බේරතුඩුවේ ඤාණසුද්ධි ස්වාමීන්ද්රයන් වහන්සේගේ සම ආචාර්යත්වයෙන් උන්වහන්සේ පැවිදි දිවියට පිවිසියහ. කඩවත රන්මුතුගල ජාතික භික්ෂු අධ්යාපන ආයතනික මූලික පිරිවෙනෙන් සහ පේරාදෙණිය පැණිදෙණිය ශ්රී භාරතී විද්යායතනයෙන් මූලික අධ්යාපනය ලැබූ උන්වහන්සේ 2012 වසරේදී ගැටඹේ රාජෝපවනාරාමයේ පැවැති ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වැනි උපසම්පදා පුණ්ය මහෝත්සවයේදී උපසම්පදාව ලැබූහ. එහිදී උන්වහන්සේගේ ආචාර්යත්වය දරා ඇත්තේ එවකට රාජෝපවනාරාමාධිපති ධුරය හෙබවූ අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් විසිනි. ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, කැප්පිටියාගොඩදී 1931 අප්රේල් 4 වැනිදා උපත ලැබූ අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වන විට 95 වැනි වියේ පසු වූහ. වයස අවුරුදු 15 සම්පූර්ණ වීමත් සමඟ 1946 මැයි 5 වැනිදා පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ නිට්ටඹුව ශ්රී විද්යානන්ද මහ පිරිවෙනෙන් මූලික අධ්යාපනය ලැබූහ. අනතුරුව 1954 දෙසැම්බර් 28 වැනිදා දීපේගොඩ චන්දවිමල මහනාහිමියන්ගේ ශිෂ්යවරයකු ලෙස උපසම්පදාව ලැබූ සිරිවිමල හිමියෝ සිය ජීවිතය ශාසනික කටයුතු සහ ආගමික සේවාවන් වෙනුවෙන් කැප කළහ. ආචාර්ය ලබුදූවේ සිරිධම්ම නායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1985 ජූනි 1 වැනිදා ගැටඹේ ශ්රී රාජෝපවනාරාමාධිපති ධුරයට පත්වූ කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ එතැන් සිට වසර 41කට ආසන්න කාලයක් එම විහාරස්ථානයේ ආගමික හා ශාසනික කටයුතු මෙහෙයවූහ. එම කාලය තුළ ජාතික, ආගමික සහ ශාසනික වශයෙන් සුවිශාල සේවාවක් ඉටු කළ උන්වහන්සේ ගැටඹේ රාජෝපවනාරාමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද කැපවී කටයුතු කළහ. ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාවට 2015 වසරේදී පත්වූ සිරිවිමල නාහිමියෝ 2022 වසරේදී එම නිකායේ අනුනායක ධුරයට පත් වූහ. දශක හතරකට අධික කාලයක් ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති ධුරය හෙබවූ කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු එම විහාරස්ථානයේ ඉදිරි ආගමික හා ශාසනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම අභිනව විහාරාධිපති පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමියන් වෙත පැවරී තිබේ. පැවිදි අධ්යාපනයෙන් සහ ශාසනික අත්දැකීම්වලින් සමන්විත උන්වහන්සේගේ නව පත්වීමත් සමඟ ගැටඹේ රාජෝපවනාරාමයේ ඉදිරි ආගමික කටයුතු සහ ශාසනික මෙහෙවර තවත් ඉහල නංවමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇතැයි ශාසනලැදි සැමගේ අපේක්ෂාවයි. Post navigation සමන්තුරෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්ය අධ්යක්ෂවරයෙකුගේ රිට් පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් අවසර.