Post Views: 553 සෞභාග්‍යමත් වාරි කෘෂිකර්මාන්තයකින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාව නිදහසින් පසුව විවිධ කාල වකවානූවලදී පාලනය කල දේශපාලන පක්ෂවල බුද්ධිමතුන්ගේ මෙන්ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා රාජ්‍ය ආයතනවල ඉහළම නිළවලට පත් ආත්මාර්ථකාමීන්ගේ ද තීන්දු තීරණ මත විදේශීය බහුජාතික සමාගම්වල ඕනෑ එපාකම් වලට අනුව ගනු ලැබූ තීන්දු තීරණ නිසා මෙරට පරිභෝජනයට අවශ්‍ය ආහාර පවා විදේශයෙන් ආනයනය කරන මට්ටමට පත්විය. මෙරට ඉංග්‍රීසී පාලනයේ යටත් විජිතයක්ව පැවති කාල සීමාවේදී ශ්‍රමය ආනයනය කර නිෂ්පාදන අපනයනය කල අප රට නිදහසින් පසුව ක්‍රමක්‍රමයෙන් ශ්‍රමය අපනයනය කර නිෂ්පාදන ආනයනය කරන තත්වයට පත්විය. වර්ථමානය වනවිටදී අප රටෙන් වැඩිම ශ්‍රමිකයන් පිරිසක් විදෙස්ගත වන්නේ නුපුහුණු හා පහල මට්ටමේ වෘත්තීන් සදහාය. රටේ අධ්‍යාපනය එදා සිට මෙරට ජනතාව හැඩගස්වනු ලැබුවේ ව්‍යවසායකයෙකු ලෙසට ස්වයං ආර්ථිකයක් සකස්කරගැනීමට නොව කුමන හෝ මට්ටමක ශ්‍රමිකයෙකු වීමටය. ගොවිතැන් කරන දෙමාපියන් පවා උත්සහාකලේ තම දරුවා ගොවියෙකු කිරීමට නොව පැය 8 ක රාජකාරියකට කොටුවන එකම වැටුපකට සීමාවූ කිනම් හෝ තැනක ශ්‍රමිකයෙකු බවට පත් කිරීමටයි. විවිධ ක්‍රමවලින් රටතුල ක්‍රියාත්මක දීර්ඝ කාලීන විදෙස් සැලසුම්වල අවසන් බලාපොරොත්තුවද වන්නේ එයමයි. ඇමරිකාව අපට තිරිගුපිටි සපයන්නේ මහා පරිමාණ ගොවිබිම් පවත්වාගෙන යමින් බව අමතක කරන අප අපේ රටේ ගොවිතැන පහලට දමා විදෙස් රටවල ගොවිබිම්වල කම්කරුවන් ලෙස හෝ යාමට පෙලගැසී සිටී. මෙරට පැය 8 නිසි ලෙස තම රාජකාරිය ඉටුකිරීමට මැලිවන බොහෝ සේවකයන් විදෙස් රටවල පැය 14 ක් හෝ 16 ක් කිසිදු මැසිවිල්ලකින් තොරව වැඩ කරයි. මෙයට දශක කිහිපයකට පෙර අපරට තුල අවම පහසුකම් සහිතව ලෑලි පේලී ගෙවල් සහිත ජනාවාස බොහෝමයක් තිබූ අතර ඒවා ජනතාව හැදින්වූයේ “කොරියාව” යන අන්වර්ත නාමයෙනි. එයට හේතුව වූයේ එම කාලවකවානුව තුල කොරියාව යනු අන්ත දුගී පහසුකම් අවම රටක් වීමයි. ආහාර හිගකම නිසා හෝ වෙනත් හේතුවක් මත කෘෂවූ ශරීරයකින් හෙබි අයෙකු හෝ ආහාර ගැනීමේදී ඉවක් බවක් නැතිව ආහාර බුදින්නෙකු දුටුවිටදී පැවසුවේ “ඉතියෝපියාවෙන්” ආ කෙනෙක් යනුවෙනි. එවකට ඉතියෝපියාව දරිද්‍රතාවයේ පතුලේම සිටි රටකි. නමුත් වර්තමානය වන විට ඉතියෝපියාව සීග්‍රසංවර්ධනයක් ලබමින් දියුණුවට පත් වෙමින් තිබෙන අතර කොරියාව විදෙස් රැකියාවක සිහිනයේ සිටින මෙරට ශ්‍රමිකයන්ගේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත්ව ඇත. මෙම තත්වය තුල වර්තමානය වනවිටදී සමාජයේ ඇති අළුත්ම කථාබහ මෙරට රිලව් චීනයට අපනයනය කිරීමයි. මේ ගැන විමසීමේදී පලමුව සැලකිය යුතු වන්නේ චීන ජනතාවගේ සංස්කෘතික මති මතාන්තරයි. බොහෝ චීන ජාතිකයන් විවිධ මිත්‍යා අදහස් අනුව කටයුතු කරන අතරම ඒ තුලින් මෙන්ම ඔවුන්ගේ ජීවන කාලයන් තුල එම රටවල් මුහුණදුන් විවිධ අත්දැකීම් අනුව ද ඔවුන්ගේ ආහාර රටාවන් හැඩගැසී ඇති ආකාරයක් දැකිය හැක. අප සමාජය ඉතා පිළිකුලෙන් බැහැරකරන බොහෝ දේ ඔවුන් ඉතා ආසාවෙන් වැළදගන්නා ආහාර බවට පත්ව ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම කෘමි සතුන් ඔවුන්ට ඉතාම ප්‍රනීත මෙන්ම අධික මිලක් ගෙවා ලබාගතයුතු ආහාර වේ. එමෙන්ම බලුමස් ඇතුළු විවිධ සත්ව මාංශද චීන වෙළදපලවල් තුල යහමින් අලෙවි වේ. ලෝකයම වෙලාගත් කොරෝනා වසංගතය ආරම්භ වූයේද චීනයෙන් වන අතර එයද සත්ව කොට්ඨාශයක් නිසා පැතිරුනු චෝදනාවක්ද චීනයට එල්ල විය. කෙසේ වෙතත් මේ වන විටදී කථාබහ ඇතිව තිබෙන රිලවු ඇනවුම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පල කරයි. සත්ව ආරක්ෂක සංවිධාන මෙයට විරෝධය පාන අතරතුර සත්‍යවශයෙන්ම රිලා ප්‍රශ්ණයෙන් බැටකන ජනතාව කොටසක් මෙයට පක්ෂවත් කොටසක් මෙයට විරුද්ධවත් අදහස් දක්වයි. රිලවු අපනයනය කිරීමට පක්ෂව සිටින පාර්ශව මෙම සතුන් නිසා රටේ කෘෂි ආර්ථිකයට මෙන්ම ග්‍රාමිය ජනජීවිතයට ඇතිව තිබෙන බරපතල තර්ජනය පෙන්වාදෙමින් මය සාධාරණීකරනය කරන අතරම මෙයට ප්‍රතිවිරුද්ධ පාර්ශවය සදහන් කරන්නේ මෙය සත්ව හිංසනයක් බවත් රිලවු ගහනය පාලනය කිරීමට අදාල ආයතන නිසි ක්‍රියාමාර්ග ගතයුතු බවත් ය. එමෙන්ම තවත් පිරිසක් සදහන් කරන්නේ අපරට මේ වනවිටදී රිලවු විකුණා හෝ ඩොලර් උපයා ගතයුතු මට්ටමකට පහලට වැටී ඇති බවයි. එමෙන්ම මෙය මෙරට ආගමික හා සංස්කෘතික මතිමතාන්තර සමග ගලපා නිර්වචනය කරන කණ්ඩායම්ද විවිධ අදහස් දක්වයි. කෙසේ වුවද මෙම රිලවු චීනය විසින් ලබාගනුයේ ස්ථීරවම සත්ව උද්‍යාන සදහාම පමණක් ය යන්න නිශ්චිතවම තහවුරු කිරීමට නොහැකි වුවත් එම සතුන් පරීක්ෂණ කටයුතු සදහා යොදා ගැනීම හෝ ආහාර සදහා ගැනීම සම්බන්ධයෙන්ද ස්ථීරවම තහවුරු කල නොහැකි තත්වයක් තුල මෙවැනි සමාජ කැලඹීම් සහිත ගණුදෙනු පාරදුෂ්‍යබාවයකින් සිදුකිරීම රජයේ වගකීමක් වේ. Post navigation ඔපරේෂන් දියකාවා – අල්ලස් ගෙන රෝයල් පාක් ඝාතකයා නිදහස් කල සිරිසේන සහ දප්පුලට වැඩ වරදී (සමාජ මාධ්‍ය සටහන – Keerthi Ratnayaka – National Alert) මංත්‍රී ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායමලාභීන්ට සහල් ප්‍රධානයක්