ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රි­යට අයත් මාලි­ගා­වත්ත ප්‍රදේ­ශයේ දේපළ, රජයේ නිසි තක්සේ­රු­වටත් වඩා ඉතා අඩු මුද­ල­කට ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් පව­ත්වා­ගෙන යනු ලබන ‘කාල්ටන්’ පෙර පාස­ලට ලබා දී ඇතැයි අනාවරණය වෙයි. එයින්ම රජ­යට විශාල මූල්‍ය අලා­භ­යක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභා­වේ දී (COPE කමි­ටුව) අනා­ව­ර­ණය වී ඇත.

මීට අමතරව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා වෙත ලබා දුන් බව කියන රුපි­යල් ලක්ෂ 45ක් වටිනා නි‍වෙ­සක් සඳහා රුපි­ය­ල­ක්වත් ගෙවා නොමැති බවත්, ඊට අදාළ ලිපි­ගොනු ද අතු­රු­දන් වී ඇති බවත් එහිදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත.

මාලි­ගා­වත්ත නිවාස ක්‍රමයේ පිහිටි ඉඩම් කොට­සක් 2023 මැයි මස සිට 2028 අප්‍රේල් දක්වා වසර පහක කාල­යක් සඳහා ‘කාල්ටන්’ පෙර පාසල වෙත බදු දී තිබේ. රජයේ තක්සේ­රුව අනුව එහි මාසික කුලිය රුපි­යල් 177,000 ක් විය යුතු වුවද, අධ්‍යක්ෂ මණ්ඩල අනු­මැ­තිය මත එය මස­කට රුපි­යල් 30,000ක් වැනි අඩු මුද­ල­කට ලබා දී ඇත. මෙය සුභ­සා­ධන ආය­ත­න­යක් ලෙස සලකා සහ­න­යක් ලබා දුන් බව නිල­ධා­රීන් පැව­සු­වද, ඒ පිළි­බඳ කිසිදු විග­ණ­නය කරන ලද වාර්තා­වක් ඉදි­රි­පත් කර නොමැති බව COPE කමි­ටු­වේ දී හෙලිවිය.

මෙම පෙරපාසල මඟින් බදු ගිවි­සු­මට අදාළ කොට­සට අම­ත­රව තවත් ඉඩම් කොටස් දෙකක් අන­ව­ස­ර­යෙන් භුක්ති විඳින බවත්, එහි ඇති රජයේ ගොඩ­නැ­ඟිලි අව­ස­ර­ය­කින් තොරව වෙනස් කර ඇති බවත් මෙහිදි හෙළි විය. මෙම අක්‍ර­මි­කතා හේතු­වෙන් දැනට රජ­යට සිදුව ඇති අලා­භය රුපි­යල් ලක්ෂ 54කට අධික බව කෝප් කමි­ටු­වේදී ප්‍රකාශ විය.

2002 වර්ෂ­යේ දී මාතා පාරේ සිව්වන අදි­යරේ පිහිටි රුපි­යල් 4,569,215ක් වටිනා නි‍ව­සක් මහින්ද රාජ­පක්ෂ මහතා වෙත ලබා දී ඇති නමුත්, ඒ වෙනු­වෙන් රුපි­ය­ල­ක්වත් ගෙවා ඇති බවට ලේඛ­න­ගත වී නොමැත. මේ සම්බ­න්ධ­යෙන් විම­සී­මේදී අනා­ව­ර­ණය වූයේ කොළඹ දකුණ කාර්යා­ලයේ තිබිය යුතු එම නි‍ව­සට අදාළ ප්‍රධාන ලිපි­ගො­නුව අතු­රු­දන් වී ඇති බවයි. අදාළ ලිපි­ගො­නුව නිල­ධා­රි­යකු විසින් ඉවත් කර ඇති බවට සට­හන් පව­තින බවද මෙහිදී අනා­ව­ර­ණය විය.

මෙම නි‍වස වසීම් තාජු­ඩීන් ඝාත­නය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂා­වට ලක් වූ නි‍ව­සක් බව ද COPE කමිටු වාර්තා­වල සඳ­හන් වේ.

මෙම සමස්ත සිදු­වීම පිළි­බ­ඳව විශේෂ පරී­ක්ෂ­ණ­යක් පවත්වා සති­යක් ඇතු­ළත සම්පූර්ණ වාර්තා­වක් ලබා දෙන ලෙස කමිටු සභා­ප­ති­ව­රයා නිල­ධා­රීන්ට උපදෙස් දෙන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *