Views: 383 සමන්තුරෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් පිළිබඳ නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස සේවය කරන ආචාර්ය ඒ. එල්. එම්. අස්ලාම් මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අභියාචනාධිකරණය අවසර ලබා දී ඇති බව වාර්තා වේ. නඩු අංක CA/Writ/766/2026 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සමෙන්, තමන්ට එරෙහිව සිදුකරන ලද බව කියන පොලිස් ක්රියාමාර්ග සහ ඒවාට පාදක වූ පැමිණිලිවල නීත්යනුකූලභාවය ඔහු විසින් අභියෝගයට ලක් කර තිබේ. ආචාර්ය අස්ලාම් මහතා වෙනුවෙන් නීතිඥ එම්. ඒ. ඒ. එම්. බෙහ්ෂාඩ් මහතාගේ මෙහෙයවීමෙන් Behshad & Guardian Associates නීති ආයතනය අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කර ඇති අතර, එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ඉදිරියට ගෙන යාමට අවසර දී වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළ බව වාර්තා වේ. ඒ අනුව පෙත්සම යලි කැඳවීම දෙසැම්බර් 14 වැනිදාට දින නියම කරන ලදී. ආචාර්ය අස්ලාම් මහතාගේ පෙත්සමේ සඳහන් කරුණු අනුව, ඔහු විසින් 2026 ජූලි 28 සහ 29 යන දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත අම්පාර දිස්ත්රික් ලේකම්වරයා වන අනූපම මංගල වික්රමරච්චි මහතාට අදාළව වංචා සහ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිලිවලින් පසුව තමන්ට එරෙහිව පළිගැනීමේ අරමුණින් මෙහෙයවන ලද සමන්තුරෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සමාජ බලගැන්වීමේ නිලධාරිනියන් 37 දෙනකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිලි මත සමන්තුරෙයි පොලිසිය විසින් සමන්තුරෙයි මහේස්ත්රාත් අධිකරණයට B වාර්තා 37ක් ඉදිරිපත් කර ඇති බව ද සඳහන් වේ. පෙත්සම්කරු සදහන් කරන්නේ, තමන්ට එරෙහිව කල පැමිණිලි ලියාපදිංචි කළ ආකාරය සහ ඒවා මත පදනම්ව ගනු ලැබූ ක්රියාමාර්ග සම්බන්ධයෙන් ප්රමාණවත් හා අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර නොමැති බවයි. ඒ අනුව, අදාළ පොලිස් ක්රියාමාර්ග පක්ෂග්රාහීව සිදුකෙරුණු බවත් ඒ සදහා ඇතැම් රාජ්ය නිලධාරීන් ද මැදිහත් වූ බවට ද පෙත්සම්කරු චෝදනා කරයි. ඒ අනුව, මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් 52 දෙනකු නම් කර තිබෙන අතර,පැමිණිලි ඉදිරිපත් කළ සමාජ බලගැන්වීමේ නිලධාරිනියන් 37 දෙනා,අම්පාර දිස්ත්රික්කය භාර නියෝජ්ය පොලිස්පති සුජිත් වෙදමුල්ල,සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති ප්රදීප් කුමාර,අම්පාර දිස්ත්රික් ලේකම් අනූපම මංගල වික්රමරච්චි,සමන්තුරෙයි ප්රාදේශීය ලේකම්වරයා,නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ එම්. ඒ. එම්. ලෆීර් සහ අනෙකුත් අදාළ පාර්ශව ඇතුළත් බව සඳහන් වේ. කෙසේ වෙතත්, මීළඟ නඩු දිනය දක්වා ආචාර්ය අස්ලාම් මහතා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට සහතිකයක් ලබා දීම සිදුව ඇති අතර අධිකරණයට ඉදිරිපත් වූ කරුණු හා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, පෙත්සම්කරු අම්පාර දිස්ත්රික්කයෙන් පිටත සේවා ස්ථානයකට මාරු කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස අදාළ බලධාරීන්ට අධිකරණය දැනුම් දීමක් කල බවත් වාර්තා වේ. මේ අතර, පෙත්සම්කරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කල. සමාජ බලගැන්වීමේ නිලධාරිනියන් 37 දෙනාට එරෙහිව අපහාස කිරීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා වෙනම සිවිල් නඩු කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ද Behshad & Guardian Associates නීති ආයතනය සලකා බලමින් සිටින බවත් වාර්තා වේ. Post navigation ඩිජිටල් තාක්ෂණයෙන් සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට දෙදින වැඩමුළුවක්.