Post Views: 331 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වූ කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර, සාමාන්‍ය දුම්රිය ධාවනය ඊයේ (02) සිට යළි ආරම්භ කෙරුනා. කාලයක් පුරා මගීන්ගේ දෛනික ගමනාගමනයට මෙන්ම උඩරට ප්‍රදේශයේ ආර්ථික හා සංචාරක ක්‍රියාකාරකම්වලට ද බලපෑම් එල්ල කළ ගැටලුවකට මෙලෙස විසඳුමක් ලැබීම, කන්ද උඩරට ජනතාවට මෙන්ම සමස්ත මගී ජනතාවටම වැදගත් පියවරක් බවට පෙන්වාදිය හැක. ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදු වූ හානිය සුළුපටු එකක් නොවේ. රඹුක්කන සිට ගම්පොළ දක්වා වූ දුම්රිය මාර්ගයේ ස්ථාන 103 ක් හානියට පත්ව තිබූ අතර, ඉන් ස්ථාන 36 ක විශාල ප්‍රමාණයේ නායයෑම් සිදුව තිබිණි. තවත් ස්ථාන 67ක දුම්රිය මාර්ගය සේදී යාම, පස්කඳු කඩා වැටීම ඇතුළු හානි සිදුව තිබූ ආකාරය ඉතා අසීරුවෙන් එම ප්‍රදේශවල වාර්තා කිරීම කල අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සියැසින් දැක තිබුනි. ඒ අනුව, මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම යනු හුදෙක් දුම්රිය පීලි කිහිපයක් යථා තත්ත්වයට පත් කිරීමක් නොවන බව නම් සැබෑවකි. නායයෑම් හේතුවෙන් ඉවත් වූ පස් හා ගල් ඉවත් කිරීම, සේදී ගිය දුම්රිය මාර්ග කොටස් නැවත සකස් කිරීම, අවදානම් සහිත බෑවුම් ස්ථාවර කිරීම සහ දුම්රිය ධාවනයට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු සංකීර්ණ කාර්යයන් රැසක් සිදු කිරීමට මෙහිදී සිදුව තිබිණි. විශේෂයෙන්ම රඹුක්කන – කඩුගන්නාව ප්‍රදේශය දුම්රිය මාර්ග පද්ධතියේ දැඩි ආනතියක් සහිත අභියෝගාත්මක කොටසක් වීම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී තවත් අභියෝගයක් වී තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් මීට ඉහත සදහන් කර තිබුනා. ඊට අමතරව හානියට පත් ස්ථාන කිහිපයකට මාර්ගයෙන් පහසුවෙන් ළඟා වීමට නොහැකි වීමත්, අයහපත් කාලගුණික තත්ත්වයත්, අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ ඇති වූ දුෂ්කරතාත් කටයුතු සඳහා බලපෑ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලා. එවැනි තත්ත්වයක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මනින් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව ජනතාවගෙන් විවිධ අදහස් සහ විවේචන ද පළ විය. දුම්රිය ගමනාගමනය යළි ආරම්භ වන තෙක් දෛනිකව දුම්රිය භාවිත කරන මගීන්ට විකල්ප ප්‍රවාහන ක්‍රම මත රඳා සිටීමට සිදුවීම එම අපහසුතාව තවත් ඉහළ නැංවීය. කෙසේ වෙතත්, එම සියළු අභියෝග බාධක මැද මේ වනවිට සිදුව ඇත්තේ අවදානම් සහිත මාර්ග කොටසක් කඩිනමින් විවෘත කිරීම වෙනුවට, අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර දුම්රිය ආරක්ෂිතව ධාවනයට සුදුසු මට්ටමකට මාර්ගය සකස් කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව සිදුකර තිබේ. ඒ අනුව විවිධ ස්ථානවල භූමියේ ස්ථාවරත්වය, නායයෑම් අවදානම සහ දුම්රිය ධාවනයට ඇති ආරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කර ඇත. මෙම දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස, ඊයේ උදෑසන කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ ‘පොඩි මැණිකේ’ දුම්රිය පේරාදෙණිය දක්වා ළඟා වීමත් සමඟ දිගු කාලයක් බලා සිටි දුම්රිය ගමන යළි ආරම්භ විය. පසුව ගම්පොළ දක්වා දුම්රිය ධාවනයද ක්‍රියාත්මක කෙරිණි. මෙය දුම්රිය සේවාව යළි ආරම්භ කිරීමක් පමණක් නොව, උඩරට ජනතාවගේ දෛනික ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ තවත් වැදගත් පියවරක් ලෙසද සැලකිය හැකිය. පේරාදෙණිය, ගම්පොළ ඇතුළු ප්‍රදේශවල පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දෛනිකව විවිධ අවශ්‍යතා සඳහා ගමන් කරන ජනතාවට දුම්රිය සේවාව යනු පහසු සහ සාපේක්ෂව අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයකි. එම නිසා දුම්රිය මාර්ගය යළි විවෘත වීම ඔවුන්ගේ දෛනික ගමනාගමනයට සෘජු සහනයක් ලබා දෙනු ඇත. එමෙන්ම උඩරට දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද විශාල වටිනාකමක් එක් කරන ප්‍රවාහන මාර්ගයකි. කොළඹ සිට මහනුවර හා උඩරට ප්‍රදේශ වෙත ගමන් කරන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා දුම්රිය ගමන සුවිශේෂී අත්දැකීමකි. එබැවින් පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය සේවාව යළි ක්‍රියාත්මක වීම උඩරට සංචාරක ක්‍රියාකාරකම් සඳහාද ධනාත්මක බලපෑමක් ඇති කරන බව නොරහසකි.. තවත් වැදගත් කරුණක් වන්නේ මෙය එක් දිනකින් අවසන් වන ප්‍රතිසංස්කරණයක් නොවීමයි. ‘දිට්වා’ ආපදාවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය අදියර කිහිපයක් යටතේ යථා තත්ත්වයට පත් කරමින් දුම්රිය සේවාවද ක්‍රමානුකූලව යළි ආරම්භ කරමි සිටී. පළමුව ඇතැම් කොටස්වල දුම්රිය ධාවනය ආරම්භ කිරීමෙන් අනතුරුව, දැන් පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සේවාව පුළුල් කිරීමට හැකිවීම එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයකි. කෙසේ වෙතත්, උඩරට දුම්රිය මාර්ගයේ සියලුම ගැටලු මේ සමඟ අවසන් වී ඇතැයි අදහස් නොකළ යුතුය. පේරාදෙණියෙන් ඉදිරියට ඇතැම් කොටස්වල ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින අතර, විශේෂයෙන් පේරාදෙණිය – මහනුවර සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් විශාල වැඩ කොටසක් සිදුකල යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාස දහයකට ආසන්න කාලයක් බලා සිටීම ජනතාවට පහසු අත්දැකීමක් නොවූ බව සැබෑවකි. එම කාලය තුළ ජනතාවට ඇති වූ අපහසුතා පිළිබඳව සාධාරණ විවේචන තිබිය හැකිය. එහෙත්, සිදුවූ හානියේ ප්‍රමාණය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ භූගෝලීය හා තාක්ෂණික අභියෝග සැලකිල්ලට ගත් විට, මේ වනවිට මාර්ගය නැවත දුම්රිය ධාවනයට විවෘත කිරීමට හැකිවීම සීමිත් සම්පත් සහිත රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. එමෙන්ම, ‘දිට්වා’ විසින් උඩරටට කළ හානිය විශාල වුවද, එම හානිය හමුවේ නැවත නැගී සිටීමට හැකි බව උඩරට දුම්රිය මාර්ගය යළි පණ ලැබීමෙන් සනාථ වී තිබේ. රේල් පීලි මත නැවත ගමන් ආරම්භ කළ දුම්රියක් සමඟ ගමන් කරන්නේ මගීන් පමණක් නොවේ. එය රැගෙන යන්නේ ජනතාවගේ දෛනික බලාපොරොත්තු, අධ්‍යාපනික අවස්ථා, රැකියා, ව්‍යාපාර, සංචාරක කර්මාන්තය සහ ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත වේගවත් කිරීමේ නව බලාපොරොත්තු රාශියකි. ඒ නිසා, ඊයේ ආරම්භ වූ මෙම දුම්රිය ගමන, මාස ගණනාවක ප්‍රමාදයක අවසානයක් පමණක් නොව, ආපදාවකින් පසු යළි නැගී සිටින උඩරටට අලුත් ගමනක ආරම්භයක් ලෙස හැඳින්විය හැකිය. Post navigation ඇප ලබා දීමට කුකුල් මස් ඉල්ලූ සැරයන්වරයාගේ වැඩ තහනම්. මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට පත් කිරීමට අනුමැතිය.