මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සැප්තැම්බර් 22 වැනිදා මෙම විනිසුරුවරුන් දෙදෙනාගේ නම් අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

ඒ අනුව, එම නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්වීම් සඳහා අනුමැතිය ලබාදී ඇත.

විනිසුරු නවරත්න මාරසිංහ මහතා ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පද්ධතියේ විවිධ අංශ ආවරණය වන පරිදි දිගුකාලීන හා සුවිශේෂී වෘත්තීය අත්දැකීම් සහිත විනිසුරුවරයෙකි. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයෙකු ලෙස සේවය කර ඇති අතර, එම කාලය තුළ ප්‍රසිද්ධියට පත් අපරාධ නඩු කිහිපයකට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් නඩු මෙහෙයවා තිබේ.

2015 වසරේ මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමෙන් අනතුරුව, ඔහු ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ බල ප්‍රදේශයන්හි සේවය කර ඇති මාරසිංහ මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර නඩුව විභාග කල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ (Special Trial-at-Bar) සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන ලදී.
මංජුල තිලකරත්න මහතා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරන අත්දැකීම් බහුල විනිසුරුවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *