Post Views: 206 හැඳුනුම්පතක් නොමැතිවීම නිසා අනන්‍යතාව තහවුරු කරගත නොහැකිවීම මත මල්වතුහිරිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි තරුණයෙකුට ඇප ලබා දීම වෙනුවෙන් අල්ලස් ලෙස කුකුල් මස් කිලෝ එකක් ඉල්ලා සිටීමේ අපකීර්තිමත් සිදුවීමක් සම්බන්ධයෙන් වීඩීයෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වීමත් සමග පොලිස්පතිගේ නියමයෙන් ඒ සම්බන්ධව විමර්ශණයක් ආරම්භකෙරී ඇත. මෙම සිද්ධියට අදාළව ගම්පහ සහකාර පොලිස් අධිකාරී (04) යටතේ විමර්ශනයක් සිදුකෙරුණු අතර එමගින් අනාවරණය වී ඇත්තේ, පසුගිය දා (26) රාත්‍රියේ මල්වතුහිරිපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු පසුදින ඇප මත මුදාහැරීම සඳහා යම් අයෙකුගෙන් එම පොලීසියේ සැරයන්වරයෙකු විසින්ම අල්ලසක් ඉල්ලා ඇති බවයි. අදාල සැරයන්වරයා එලෙස අල්ලස් ඉල්ලන ආකාරය දැක්වෙන වීඩියෝවකුයි සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇත්තේ. ඒ අනුව, මේ වන විට අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩතහනම් කිරීමට කටයුතු කර ඇති අතර ගම්පහ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ මෙම සිද්ධිය සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ. මෙම කුකුල් මස් අල්ලස් සිද්ධියත් සමඟම, පහළ මට්ටමේ ඇතැම් නිලධාරීන් විසින් සැකකරුවන්ගේ ඥාතීන්ගෙන් ආහාර, බයිට් හෝ වෙනත් ද්‍රව්‍යමය අල්ලස් ඉල්ලා සිටීමේ සිරිතක් පැවති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදේශවාසීන් විසින් චෝදනා නඟා ඇත. මෙම සිදුවීමත් සමගම පසුගිය දින කිහිපය තුල පොලිස් නිළධාරීන්ගේ මෙවැනි අපකීර්තිමත් හැසිරීම් ගණනාවක්ම සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වී ඇත. විශේෂයෙන්ම මෙම මල්වතුහිරිපිටිය පොලීසියේම රථවාහන නිළධාරියෙක් කල්බදු පහසුකමක් මත මිලදී ගත් වාහනයක ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත වාහනයේ නොමැති බවට චෝදනා කරමින් රියදුරෙක් අපහසුතාවයට පත්කරමින් දඩ පත්‍රිකාවක් ලබාදෙන ආකාරයේ වීඩියෝවක්ද පසුගියදා සමාජ මාධ්‍යයේ පලවිය. දිගින් දිගටම පොලිස් නිළධාරීන් මෙවැනි අක්‍රමිකතා සිදුකරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්දැයි යන්නත් සොයාබැලීම පොලීසියේ වගකීමකි. Post navigation රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට කැමරාවෙන් පහරදීමේ චෝදනාව – පොලිස් විමර්ශන ඇරඹේ. කැමරා ශිල්පියා අත් අඩංගුවට.