හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අනුයුක්ත කැමරා ශිල්පියෙකු විසින් කැමරාවකින් පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ඊයේ (30) කොටුව අධිකරණයේ නඩු කටයුතු අවසන් කර පිටතට පැමිණි අවස්ථාවේදී අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේදී ආරක්ෂක නිලධාරීන් සහ මාධ්‍යවේදීන් අතර තෙරපීමක් ඇති වූ අතර, එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියාගේ හිසට කැමරාවකින් පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

පහරදීම සිදුවූ බවට චෝදනා එල්ල වී ඇති ආරක්ෂක නිලධාරියා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන අනතුරුව පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ. පැමිණිල්ල සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත තොරතුරු ලබාදී ඇති බව විවිධ වාර්තා සඳහන් කරයි.

සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වාර්තා ඔස්සේ සංසරණය වී තිබෙන අතර Hiru News වාර්තාවකට අනුව, අදාළ දර්ශනවල කැමරා ශිල්පියා ආරක්ෂක නිලධාරියාගේ හිස දෙසට කැමරාව ගෙන යන ආකාරය දැක්වෙන බව සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධියේ සම්පූර්ණ පසුබිම සහ දෙපාර්ශ්වයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එම දර්ශන මගින් පමණක් තීරණයකට ඒමට හැකියාවක් නොමැති නමුත් විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කෙරෙමින් පවතී.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ ප්‍රකාශයකින් ආරක්ෂක නිලධාරියාට පහරදීමක් සිදුවූ බවට චෝදනා කර ඇති අතර, සිද්ධිය අධිකරණ පරිශ්‍රයේදී සිදුවීම හේතුවෙන් එහි ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතු කර තිබෙනවා. එමෙන්ම සිද්ධියට අදාළ දර්ශන එහි සිටි වෙනත් මාධ්‍යවේදීන් විසින් පටිගත කර ඇති බවද එම පාර්ශ්වය සදහන් කර සිටී.

මේ සමඟම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, රංග බණ්ඩාරනායක සහ ප්‍රධාන ලේකම්, මිතුන් ජයවර්ධන ගේ අත්සනින් යුක්තව නිකුත් කෙරුනු එම නිවේදනයේ,
“මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) අවධාරණය කර සිටින්නේ, මහජනතාව වෙත තොරතුරු වාර්තා කිරීමේ මාධ්‍යවේදීන්ගේ අයිතිය මෙන්ම රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ද සුරක්ෂිත විය යුතු බවයි.
එබැවින්, මෙම සිද්ධියේදී ආරක්ෂක නිලධාරියාගේ නිල රාජකාරියට බාධා කිරීමක් සිදුවී ඇත්ද නැතහොත් මාධ්‍යවේදියාගේ නිදහස් මාධ්‍ය භාවිතයට සහ රාජකාරියට බාධාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ක්ෂණික, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් අපි ඉල්ලා සිටිමු.
අධිකරණ භූමියක් තුළ සිදුව ඇති මේ සිදුවීම ඔස්සේ පෙන්නුම් කරන්නේ සමාජය තුළ පවතින පුරවැසි අනාරක්ෂිතභාවයයි. මෙම සිදුවීම තුළින් මාධ්‍යවේදියාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අනාරක්ෂිත භාවයක් පෙන්නුම් කරන අතර, මේ සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව අපගේ මතයයි.”
යනුවෙන්ද සදහන් වේ.

කෙසේ වෙතත් මේ වන විටදී මේ සම්බන්ධව පොලිස් විමර්ශණයක් ක්‍රියාත්මක අතර, කැමරා ශිල්පියාට කොම්පඤ්ඤවීදිය පොලීසියෙන් කැඳවීමක් කර තිබූ අතර ඒ අනුව පොලීසියට පැමිණ ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරී සුරක්ෂිතතාව මෙන්ම ඒ සදහා බාධාවන් නොකිරීමද සිදුවියයුතු බව දැඩි ලෙස සලකන අපක්ෂපාතී මාධ්‍ය ආයතනයක් වන අප ඒ සමඟම සියළු මාධ්‍යවේදීන් සිය වෘත්තීය බව ආරක්ෂාකර ගනිමින් කටයුතු කලයුතු බවත් විශ්වාශ කරයි. කිසියම් අයෙක් එයින් බැහැරව කටයුතු කරයි නම් ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ස්වාධීන මාධ්‍ය ආයතනයක් ලෙස අපගේ සම්පූර්ණ එකඟතාව පලකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *