Post Views: 132 ලෝක ස්ථුලතා දිනයට සමගාමීව, සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ස්ථුලතාවය (Obesity) පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ පාගමනක් සහ රැළියක් අද (07) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව සංවිධානය කළ මෙම පාගමන විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ විය. මේ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ. ස්ථුලතාවය යනු කුමක්ද?ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වීම ස්ථූලතාවය ලෙස හඳුන්වයි. ලෝක වැඩිහිටි ජනගහනයෙන් 33%කට ආසන්න ප්‍රමාණයක් අධිබර හෝ තරබාරු තත්ත්වයෙන් පෙළෙන බව සංඛ්‍යා දත්ත තහවුරු කරයි. අප ආහාර මඟින් ලබා ගන්නා ශක්තිය (Calories) මුළුමනින්ම අපගේ දෛනික ක්‍රියාකාරකම් සඳහා වැය නොවන විට, එම අමතර ශක්තිය මේදය ලෙස ශරීරයේ තැන්පත් වීමෙන් ස්ථූලතාවය ඇතිවේ. මෙම තරබාරුකම හඳුනා ගැනීමට ක්‍රම කිහිපයක් තිබෙන අතර ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ඉන් ප්‍රධානයි. එමගින් කරනුයේ අපගේ උසට සරිලන බර ඇති දැයි දැන ගැනීම සඳහා ශරීර ස්කන්ධ දර්ශකය යොදා ගැනීමයි. ශරීරයේ බර කිලෝග්‍රෑම් වලින් සහ උස මීටර් වලින් ලබා ගෙන ශරීර බර උසින් බෙදීමෙන් ලැබෙන අගය ශරීර ස්කන්ධ දර්ශකය ලෙස ගනු ලබයි එහිදී, ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 27.5 ට වැඩි නම් ස්ථූලතාවය ලෙසද, 23 ට වැඩි නම් අධිබර ලෙසද සැලකේ. ස්ථුලතාවය මනින තවත් ක්‍රමයක් වන්නේ ඉණේ වට ප්‍රමාණය මැණ බැලීමයි. ඉණේ වට ප්‍රමාණය මැනීම මඟින් අධික ලෙස උදරයේ තෙල් තැන්පත් වීම හඳුනා ගත හැකිය. නියමිත ප්‍රමාණයට වඩා ඉණ වට ප්‍රමාණය වැඩි වීම, එනම් අසාමාන්‍ය ලෙස උදරයේ තෙල් තැන්පත් වීම මඟින් දියවැඩියාව, හෘදයබාධ වැනි තත්ත්වයන් වලට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි. ඒ අනුව, ඉණේ වට ප්‍රමාණය පිරිමි පුද්ගලයන් සඳහා 90 cm ට වඩා අඩුවෙන්ද, කාන්තාවන් සඳහා 80 cm ට වඩා අඩුවෙන්ද පවත්වා ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා වැදගත් වෙයි. මෙහිදී ඉණේ වට ප්‍රමාණය මැනීම කල යුත්තේ මිනුම් පටියක් උදරය වටා පෙකණිය මට්ටමින් රඳවා, හුස්ම පිට කිරීමෙන් පසු දැක්වෙන අගය ලබා ගැනීමෙනි. අවදානම සහ හේතු සාධකස්ථූලතාවය ඇති වීමට හේතු ගණනාවක් බලපාන අතර ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවක් තිබීම බලපාන අතර ව්‍යායාම නොකිරීම, සමහර ඖෂධ වල අතුරු ආබාධ, ජාන මගින් දෙමව්පියන්ගෙන් දරුවන්ට ප්‍රවේණිගත වීම සහ මානසික ආතතිය යන කරුනුත් බලපානු ලබයි. තරබාරුකම සෞඛ්‍යට බලපානු ලබන ආකාරය ගැන දැනුවත් වීමත් වැදගත් වන අතර ස්ථූලතාවය වෙනත් බොහෝ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමද වැඩි කරයි. මේ නිසාවෙන් ස්ථූලතාවයෙන් අත්මිදීම සෞඛ්‍ය සම්පන්න දිවියකට අවශ්‍යම කරුනක් නිසා උසට සරිලන නියමිත බර දක්වා ශරීරයේ බර අඩු කරගෙන, එය දීර්ඝ කාලීනව පවත්වා ගැනීම කල යුතුය. වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට මෙය කළ හැක්කේ සෞඛ්‍ය සම්පන්න නිවැරදි ආහාර රටාවක් ඇති කර ගැනීම මෙන්ම පුරුද්දක් ලෙස ශාරීරික ව්‍යායාම වල යෙදීම තුලිනි. මේ සදහා සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් වත් පාපැදි පැදීම, වේගයෙන් ඇවිදීම, පිහිනීම, රිද්මයානුකූල නර්ථන වැනි මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් ශාරීරික ව්‍යායාම වල නිරත වීම වැදගත්ය. ආහාර පාලනය සහ ව්‍යායාම වල නිරත වීම මගින් පමණක් ශරීරයේ බර අඩු කර ගැනීමට නොහැකි අවස්ථාවලදී සහ ස්ථූලතාවය නිසා සංකූලතා මතුව ඇති අවස්ථා වලදී බර අඩු කිරීමට ඖෂධ යොදා ගත හැකි නමුත් එවැනි අවස්ථා වලදී, ආහාර පාලනය සහ ව්‍යායාම වල නිරත වීමට අමතරව, වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ ලබා ගැනීම සිදු කළ යුතුය. එමෙන්ම, ස්ථූලතාවය නිසා සංකූලතා මතුව ඇති සමහර අවස්ථාවන් වලදී අවසාන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ආහාර ජීර්ණ පද්ධතියේ සැත්කම් සිදුකිරීමටද කටයුතු කරන අවස්ථා ඇත. බර අඩු කර ගැනීම සඳහා අපගේ ආහාර රටාව වෙනස් කර ගැනීමට නම්, අප ආහාර මඟින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය, අපගේ ශරීර ක්‍රියාකාරකම් මඟින් වැය කරන කැලරි ප්‍රමාණයට වඩා අඩු විය යුතුය. මේ සඳහා ඉහළ කැලරි අගයක් සහිත ආහාර සීමා කළ යුතුය. විශේෂයෙන්ම පිෂ්ඨමය ආහාර ලෙස සැලකෙන බත්, නූඩ්ල්ස්, පිටි ආශ්‍රිත ආහාර (ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ආදිය), අල, මඤ්ඤොක්කා, බතල ආදියත් පැණි රස ආහාර වන සීනි, හකුරු, පැණි, අයිස් ක්‍රීම්, ටොෆි, කෝඩියල්, රස කරන ලද කිරි, කාබනීකෘත සිසිල් බීම, රසකැවිලි, අධික ලෙස සීනි යෙදූ තේ සහ කෝපි මෙන්ම, අධික මේද සහිත ආහාර වන ගැඹුරු තෙලේ බදින ලද ආහාර සහ බේකරි නිෂ්පාදන, පෙර ඇසුරුම් කළ කෙටි ආහාර (ශීත කළ පීසා, කුකීස්, බිස්කට්), ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, රතු මස් (හරක් මස්, ඌරු මස්, එළුමස්), යොදය සහිත කිරි, ගිතෙල්, චීස් වැනි කිරි නිෂ්පාදන, සකස් කරන ලද මස් වර්ග (මීට්බෝල්ස්, සොසේජස්),ඉස්සන් සහ දැල්ලන් යනාදියයි. එමෙන්ම, ආහාර වේලට එළවළු වැඩි ප්‍රමාණයක් සහ නැවුම් පලතුරු එක් කර ගත යුතුය. අතරමැදි ආහාර වේල් හැකිතාක් අඩුකල යුතු අතර අවශ්‍යම නම් ඒ සදහා සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර (උදා: රටකජු ස්වල්පයක්, නැවුම් පලතුරු, යෝගට්) භාවිතා කල යුතු වේ. කෙසේ වෙතත් යමෙක් තරබාරු නම් එක් වරම විශාල වශයෙන් බර අඩු කර ගැනීම මඟින් පෝෂණ ඌනතා, පිත්තාශයේ ගල් වැනි සමහර රෝග තත්ත්ව ඇති වීමේ ප්‍රවණතාවය වැඩි කරයි. වේගවත් බර අඩු කර ගැනීමකදී පසු කාලීනව නැවත බර වැඩිවීමේ හැකියාවද වැඩි වේ. එබැවින්, මසකට කිලෝග්‍රෑම් 2 ක් පමණ බැගින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමටයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. අදම ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. ස්ථූලතාවය පිටුදකින්න. Post navigation වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට කමිටුවක් පත් කිරීමට පියවර. උකුණු කරදරය හිසරදයක් වෙලාද ? ඔබ දැනගත යුතු සියල්ල සහ ස්වාභාවික ප්‍රතිකාර මෙන්න.