Post Views: 175 ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මධ්‍යම රජය සහ රට පුරා දැවැන්ත විරෝධතාවල නිරත වන “කොක්‍රෝච් ජනතා පක්ෂය” (Cockroach Janta Party – CJP) හෙවත් ශිෂ්‍ය සංවිධානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර ඔහු මෙම තීරණය ගෙන තිබේ. අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ධර්මේන්ද්‍ර ප්‍රධාන් සටහන් කර ඇත්තේ, ජන්තර් මන්තර් හි පවතින තත්ත්වය විරෝධී බලවේග විසින් අවස්ථාවාදී ලෙස පාවිච්චි කිරීම වැළැක්වීමට සහ සිසුන්ගේ අධ්‍යාපනික අනාගතය නීතිමය ගැටලුවලින් බේරාගැනීමට තමන් මෙම තීරණය ගත් බවයි. මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ ප්‍රකට පරිසර ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වංචුක් (Sonam Wangchuk) සිය X (ට්විටර්) ගිණුම ඔස්සේ සටහනක් තබමින් එය “ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්” ලෙස හඳුන්වා තිබේ. ඉන්දීය තරුණ විරෝධතාවන්ගේ ප්‍රධාන චරිතයක් ලෙස ක්‍රියාකාරීව සිටි සෝනම් නවදිල්ලියේ ජන්තර් මන්තර් පරිශ්‍රයේ දින ගණනාවක් නිරාහාර උපවාසයක නිරත විය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහුව බලහත්කාරයෙන් රෝහල්ගත් කිරීමකට ලක්කල අතර තවමත් හෙතෙම රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. රෝහල් ඇඳමත් සිටිමින් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ, “මෙය කෙලින්ම වීථියෙන් පැමිණි සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. මෙය සාමය, ඉවසීම සහ කැපවීමේ ජයග්‍රහණයක්. කැරපොතු ජනතා පක්ෂයටත් Cockroach Janta Party (CJP) , රටේ Gen Z පරම්පරාවටත් මගේ සුබ පැතුම්. බිය නැති කරගනිමින් රටේ සෑම අස්සක් මුල්ලකින්ම එකතු වූ සියලු ජනතාවට ස්තූතියි. දැන් වගවීම ඉටු වී ඇත, මීළඟට ප්‍රතිසංස්කරණ වෙත ගමන් කරමු!” යනුවෙනුයි. ඉන්දියාවේ ඇතිවූ මෙම දැවැන්ත තරුණ නැගිටීමට පසුබිම සකස්වූයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයක් අතරතුර ඉන්දීය අගවිනිසුරු විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැකියා විරහිත තරුණයින් “කැරපොත්තන්” නැතිනම් “පරපෝෂිතයින්” ලෙස හැඳින්වීමත් සමඟයි. මෙම ප්‍රකාශය පාදක කරගෙන සරසවි සිසුවෙක් වන අභිජීත් දීප්කේ (Abhijit Dipke) ආරම්භ කළ සමාජ මාධ්‍ය ව්‍යාපාරය, කෙටි කලකින් මිලියන ගණනක සක්‍රීය පිරිසක් එකතු කරගනිමින් කැරපොතු ජනතා පක්ෂය ලෙස සංවිධානය විය. මෙම තත්වය පාලනය කිරීමට මොදි රජය විසින් CJP හි සමාජ මාධ්‍ය ගිණුම් ඉන්දියාව තුළ වාරණය කිරීමත් සමඟ, විදෙස්ගත සිසුන් ඇතුළු නායකයින් ඉන්දියාවට පැමිණ මෙම අරගලය වීථියට ගෙන ඒමට කටයුතු කරන ලදී. එහිදී ශිෂ්‍යයන්, සිවිල් සංවිධාන සහ ප්‍රකට පරිසර ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වංචුක් (Sonam Wangchuk) වැනි පිරිස් නවදිල්ලියේ ජන්තර් මන්තර් පරිශ්‍රයේ උපවාසයක් ආරම්භ කරන ලදී. මීට සමඟාමීව අරගලකරුවන් දස දහස් ගණනක් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය මාර්ග බාධක යොදමින්, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ට පහර දුන්නේය. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 118 දෙනෙකු සහ සිසුන් 60 දෙනෙකු ඇතුළුව 178 දෙනෙකු තුවාල ලැබූ අතර, 70 දෙනෙකු අත්අඩංගුවට පත්විය. විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් ද විරෝධතාවයට සහාය පළ කරමින් අත්අඩංගුවට පත් වූ අතර, පසුව නිදහස් කෙරිණි. අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි. ඊට අමතරව, විභාග පනතක් (Public Examinations Act) මගින් විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, විභාග වංචා හේතුවෙන් දිවි හානිකරගත් සිසුන්ගේ පවුල්වලට වන්දි ගෙවීම, මාධ්‍ය නිදහස් කිරීම සහ ඇමති මණ්ඩලයෙන් 50% ක් කාන්තාවන්ට ලබාදීම ආදී ඉල්ලීම් ද එයට ඇතුලත් විය. ජූලි 20 වනදා සිදුවූ දැවැන්ත ගැටුමෙන් පසුව රජය සහ විරෝධතාකරුවන් අතර සාකච්ඡා ආරම්භ වූ අතර, අගමැති නරේන්ද්‍ර මෝදි ද විභාග ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් දෙන බවට ප්‍රකාශ කළේය. ඒ අනුව, තෙවන වටයේ සාකච්ඡා ආරම්භ වීමට මෙහොතකට පෙර, සිසුන්ගේ ප්‍රධානතම ඉල්ලීම ඉටු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙම තත්ත්වයත් සමඟ ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතිය තුළ දීර්ඝකාලීන නීතිමය සහ පරීක්ෂණ ක්‍රමවේදවල දැවැන්ත වෙනස්කම් (Computer-Based Test ක්‍රමවේදය වැනි) සිදු කිරීමට මධ්‍යම රජය පියවර ගනිමින් සිටී. Post navigation කැඩෙට් නිලධාරියෙකුගේ සිට රාජකීය ගෞරව සම්මානය දක්වා. සවීන් ගුණරත්න ශාන්ත ජෝන් නයිට් පටිපාටියෙහි ‘සාමාජික’ පදවියෙන් පිදුම් ලබයි.