රටක ජාතික ආරක්ෂාව යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙරට බොහෝ දේශපාලකයන් දෙකොන පටලවාගෙන සිටින ආකාරයක් ජාතික ආරක්ෂාව සම්බන්ධව ඔවුන් කියන ප්‍රකාශ අනුව පෙනී යයි. පසුගියදා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් මේ ගැන ප්‍රශ්ණ කල විටදී අමාත්‍යවරයා ජාතික ආරක්ෂාව යනු කුමක්ද කියා මාධ්‍යවේදියාගෙන් විමසීමක් කලේද ජාතික ආරක්ෂාව යනු යුධමය ආරක්ෂාව පමණක් යන මතයේ එල්බ බව පැහැදිලිය.

සරලවම කිවහොත්, රටක ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට හෝ මහජනතාවට එරෙහිව පැන නගින අභ්‍යන්තර හෝ බාහිර ඕනෑම තර්ජනයකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ජාතික ආරක්ෂාවයි.

මෙම තර්ජන ප්‍රධාන ආකාර දෙකකි:
සම්ප්‍රදායික තර්ජන: වෙනත් රටවල් සමඟ ඇතිවන යුදමය තත්ත්වයන්.
සම්ප්‍රදායික නොවන තර්ජන: යුද්ධයෙන් පරිබාහිරව රටට බලපාන ආර්ථික, සමාජීය, සෞඛ්‍ය හෝ පාරිසරික අර්බුද වැනි දෑ.

ජාතික ආරක්ෂාව රඳා පවතින ප්‍රධාන කුළුණු 08 ක් වර්තමානය වන විට සමාජයේ කතාබහට ලක්වෙයි. ඒ අනුව රටක ජාතික ආරක්ෂාව තහවුරු වීමට නම් පහත සඳහන් අංශ 8 ම සුරක්ෂිත විය යුතුය.

හමුදාමය ආරක්ෂාව: ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ ශක්තිමත්ව හා ස්වාධීනව පවත්වාගෙන යමින් දේශසීමා සහ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීම.
ආර්ථික ආරක්ෂාව: රට බංකොළොත් නොවී පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය (ඉන්ධන, ගෑස්) හිඟයකින් තොරව ලබා දීම සහ යටිතල පහසුකම් පවත්වාගෙන යාම.
සෞඛ්‍යමය ආරක්ෂාව: වසංගත රෝග (COVID-19 වැනි) පාලනය කිරීම සහ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාම.
සයිබර් ආරක්ෂාව: බැංකු, විදුලිබල සහ ආරක්ෂක දත්ත පද්ධතිවලට එල්ල විය හැකි ඩිජිටල් ප්‍රහාරවලින් (Cyber Attacks) ආරක්ෂා වීම.
මහජන ආරක්ෂාව: පාතාල ක්‍රියාකාරකම්, වෙඩි තැබීම් සහ අපරාධ පාලනය කර ජනතාවට බියෙන් තොරව ජීවත් වීමට පරිසරය සැකසීම.
පාරිසරික ආරක්ෂාව: ස්වාභාවික විපත් (සුනාමි, ගංවතුර, නායයෑම්) සහ දේශගුණික විපර්යාසවලින් සිදුවන හානිය අවම කර ගැනීම.
බලශක්ති ආරක්ෂාව: විදුලිය විසන්ධි වීමකින් තොරව අඛණ්ඩව බලශක්තිය සැපයීම (බලාගාර ආරක්ෂා කිරීම සහ ඉල්ලුමට සරිලන සැපයුම).
දේශපාලනික සහ ප්‍රභූ ආරක්ෂාව: රටේ නායකයින් සහ වැදගත් පුද්ගලයින් ආරක්ෂා කිරීම මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ රජයක් කුමන්ත්‍රණවලින් බිඳ වැට්ටවීමට ඉඩ නොතබා පවත්වාගෙන යාම.

ජාතික ආරක්ෂාවට ඇති වත්මන් අභියෝග ගැන සැලකීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කරුණු කිහිපයකින් ප්‍රබල තර්ජන එල්ලවී ඇති බව පෙනී යයි. එනම්, අන්තවාදය සහ ත්‍රස්තවාදය (පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම්), සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බැඳුණු අපරාධ. ආර්ථික හෝ දේශපාලන අස්ථාවරත්වය නිසා ජනතාව සිදුකරන උද්ඝෝෂණ, වැඩවර්ජන හෝ මහජන කැළඹීම් (අරගලය වැනි තත්ත්වයන්) නිසා මෙරට ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව කටුක යතාර්තයයි.

ජාතික ආරක්ෂාව යනු හුදෙක් හමුදාව විසින් පමණක් සිදු කරන කාර්යයක් නොව, ආර්ථික, සාමාජීය, තාක්ෂණික සහ පාරිසරික වශයෙන් රට ස්ථාවරව තබා ගනිමින් ජනතාවට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බව මේ අනුව පැහැදිලි වේ.

මේ තත්වය විසඳාගැනීමට නම් රජය කල යුත්තේ මේ පිළිබඳව ප්‍රශ්ණ කරන පුද්ගලයන්ගෙන් පෙරලා ප්‍රශ්ණ කිරීම නොව මේ ඇතිවන තත්වයට නිසි ක්‍රියාමාර්ග ගැනීමයි. විශේෂයෙන්ම මෙරට දේශපාලන ප්‍රවාහයේ දශක ගණනාවක් ඉතාම අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය ලෙස නාමකරණය වීම නිසාම මෙරට ජනතාව ඔවුන්ව පාලක පක්ෂය ලෙස තෝරා නොගත් බව රජය තේරුම් ගත යුතුය. එමෙන්ම, එකී දේශපාලන වෙනසට ප්‍රබල හේතුවක් වූයේ පසුගිය පාලන කාලවල දී පාලක පක්ෂයේ දේශපාලකයන් හැසිරුනු ඒකාධිපති ස්වරූපය මෙරට බහුතරයක් නීතීගරුක පුරවැසියන් අනුමත නොකිරීම බවත් ජාතික ජනබලවේගයේ මැති ඇමතිවරු සිහිතබාගත යුතු සත්‍යයකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *