හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දින (25) හෝමාගම පිටිපන හන්දියේදී මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බවට සදහන් කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්‍රදේශයේ පදිංචි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි එක්දරු පියෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

හෝමාගම පොලීසියේ නිළධාරීන් සදහන් කරන්නේ අදාල පුද්ගලයා පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් මත ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් ස්ථානයේදී අත් අඩංගුවට ගත් පුද්ගලයාට දැඩිලෙස පහරදීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි. අද දහවල් ඥාතීන් හෝමාගම රෝහලේදී මේ සම්බන්ධයෙන් පොලීසියට සිය විරෝධය පල කරමින් ආවේගශීලීව අදහස් පල කිරීමටද කටයුතු කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩබලන ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් ස්ථාන පරික්ෂාවක් සහ හෝමාගම මූලික රෝහලේදී මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කර ඇත. මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය හෙට (27) දින කළුබෝවිල රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ අපරාධ අංශයේ ස්ථානාධිපති හා දූෂණ මර්ධන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරුන් වන උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුගේ හා උපසේවක රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අද (26) දින සිට අත්හිටුවීමට හෝමාගම දිස්ත්‍රික් (i) පොලිස් අධිකාරි විසින් කටයුතු කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි හෝමාගම දිස්ත්‍රික් (ii) විසින් විමර්ශනයක් සිදු කරනු ලබන අතර පොලිස්පතිගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *