Views: 429 අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම තොරතුරු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබෙනවා. අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත් පොලිස් නිළධාරීන් උසාවිය ඇන්දීමට උත්සහ කරන බවක් පෙනී යන්නේ යැයි සඳහන් කරමින් ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා මෙම පියවර ගනු ලැබුවා. මත්ද්රව්ය ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුට එරෙහිව අසතය ලෙස පැවරූ අංක 1743 සහ 1744 දරණ නඩු ගොනු දෙකද අභියාචනාධිකරණයට යැවීමට මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණ රෙජිස්ට්රාර්වරියට නියම කර තිබෙනවා. ගම්පහ දෙවොලපොල මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව මත්ද්රව්ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය විසින් නඩු පවරා ඇත්තේ නිස්සාරණ අන්දමින් බවට මීට පෙර අවස්ථාවක තීරණය කළ මහේස්ත්රාත්වරයා ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ගම්පහ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නියම කර තිබූ අතර, එසේ නොවන්නේ නම් අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන්ටම දැනුම් දෙමින් සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්ර ලේඛණක් නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා පොලිස්පතිවරයාට නියම කර තිබුනා. 2026 මැයි 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අස්ගිරිය හන්දියේදී අයිස් මිලිග්රෑම් 130 ක් සහ හෙරොයින් මිලිග්රෑම් 500ක් ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් විසින් චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව නඩුවක් පවරා තිබූ අතර එහි සාක්ෂිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්ධන කොට්ඨාශයේ පොලිස් සැරයන් 12614 සෙනවිරත්න සහ කොස්තාපල් 24728 දිල්ෂාන් නමැත්තන් නම් කර තිබුණා. විත්තිකාර චාමර චතුරංග නමැත්තාට එරෙහිව මත්ද්රව්ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක් නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා ඔහුට දඩයක් නියම කෙරුණු අතර තවත් සුළු මොහොතකින් ඔහුට එරෙහිව මත්ද්රව්ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් නඩුවක් කැඳවා තිබෙනවා. දෙවන නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එකම පුද්ගලයෙකුට එරෙහිව එකම දින නඩු දෙකක් පවරා ඇති බව නිරීක්ෂණය කළ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා රටවැසියන්ට පීඩාකාරී වන අන්දමින් නඩු පැවරීම සම්බන්ධයෙන් එම නඩුවල සාක්ෂිකරුවන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්රහයේ 17 (1) යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි විමසීම සඳහා අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවුවත් ඔවුන් කිසිවෙකුත් අධිකරණය හමුවේ පෙනී සිට නැහැ. නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයෙන්වරයා කරුණු දක්වමින්, මෙම වැටලීම කළ දින මෙම විත්තිකරු සමග තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත් අඩංගුවට ගත් හෙයින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා වැරදි ලෙස ගොනුකර ඇති හෙයින් චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව 1743 සහ 1744 යටතේ පවරා ඇති නඩු දෙකෙන් 1743 දරණ නඩුව ඉල්ලා අස්කර ගන්නා බවද 1744 දරණ නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන ලෙසද ඉල්ලා තිබෙනවා. කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසිය වැටලීම් කළ යුත්තේ වැටලීමේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට එරෙහිව අධිකරණයක් හමුවේ සාක්ෂි දී ඔවුන් වරදකරුවන් බව පෙන්වීම සඳහා හේතු සහිතව බව අවධාරණය කළ මහෙස්ත්රාත්වරයා මෙම විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කිකරුවන් වශයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු නම් කිරීම මගින් විත්තිකරු නඩු විභාගයකදී වරදකරු කිරීමේ අරමුණින් යුතුව නඩු පවරා ඇති බව පැහැදිලි වන්නේ යැයිද සඳහන් කර තිබෙනවා. ඒ අනුව පොලිසියේ ඉල්ලීම පිළිගැනීමට නොහැකි බව පෙන්වා දෙමින් ඉල්ලීම ප්රතික්ෂේප කරනු ලැබුවා. පොලිසිය විශාල වශයෙන් මත්ද්රව්ය නඩු පවරනු ලැබූවත් එම නඩුවල ඇති මත්ද්රව්ය ප්රමාණයන් සැලකිල්ලට ගැනීමේදී පොලිසිය සඳහන් කළ ප්රමාණයට වඩා ඉතාම අඩු මත්ද්රව්ය ප්රමාණයන් ඒවායේ අඩංගු බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ යැයි සඳහන් කළ මහේස්ත්රාත්වරයා රස පරීක්ෂකවරයාට යවනු ලැබූ ඇතැම් නඩු භාණ්ඩවල මත්ද්රව්ය ඉතාම සුළු ප්රමාණයන් අඩංගු බව මෙන්ම ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්රව්යයක් අනාවරණය නොවන අවස්ථාද ඇතැයි අවධාරණය කළා. මත්ද්රව්ය වැටලීම් වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇතත් එම උපදෙස් ක්රියාත්මක කරනු ලබන්නේ ඉතාම අවිධිමත් ලෙස බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා, එක් මාසයකදී ගන්නා නඩු ප්රමාණයට වඩා වැඩි නඩු ප්රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට අණකර එමගින් පොලිසියේ හා නිලධාරීන්ගේ ප්රගතිය සලකා බැලීම නිරන්තරයෙන් සිදුවූවත් එමගින් පොලිසියේ හෝ නිලධාරීන්ගේ ප්රගතිය සලකා බැලීමට කිසිදු හැකියාවක් නැතැයි ද පෙන්වා දී තිබෙනවා. සැබැවින්ම පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අපරාධ වැටලීම් කරන්නේ නම් එක් මාසයකදී ගත් නඩු ප්රමාණයට වඩා අඩු නඩු ප්රමාණයක් ඊළඟ මාසයේදී වාර්තා විය යුතු බව පෙන්වා දුන් මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා, ප්රදේශයේ නඩු වැඩිවීම යනු සැබවින්ම එම ප්රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාවය විදහා පෙන්වන්නක් බවයි අවධාරණය කර ඇත්තේ. එක් මාසයකදී ගත් නඩු ප්රමාණයට වඩා වැඩි නඩු ප්රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් එහි පහළ නිලධාරීන්ට අණ කිරීම මගින් තවත් වසර පහක කාලයක් ගතවන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය මදි වීමට ඉඩ ඇති බවද මහේස්ත්රාත්වරයා එම අවස්ථාවේදී පෙන්වා දී තිබෙනවා. ඇතැම් අවස්ථාවල අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්රමයක් වශයෙන් පොලිසිය අන්තරාදායක ඖෂධ පනතේ 54 වගන්තිය උපයෝගී කරගන්නා බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා, මෙහි අවසාන ප්රතිඵල පොලිස් නිලධාරීන් කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය පලුදු වීම බවයි අවධාරණය කර ඇත්තේ. මෙම ක්රමවේදය පිළිබඳ පොලිසියේ ඉහල නිලධාරීන්ගේ අවධානය වහාම යොමු කර එම ක්රමවේදය වහාම වෙනස් කළ යුතු බව අවධාරණය කළ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා ,මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණයට කැඳවා ඇතත් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම මගින් ඔවුන් අධිකරණයේ කටයුතු පිළිබඳ දැඩි නොසැලකිලිමත් බවකින් කටයුතු කරන බවක් පෙනී යන්නේ යැයිද සඳහන් කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව පීඩාකාරී අන්දමින් නඩු පැවරීම පිළිබඳව අපරාධ නඩු විධාන සංග්රහයේ 17 (1) වගන්තියේ යටතේ කටයුතු නොකළ යුත්තේ මන්ද? යන්න පිළිබඳ පොලිසිය විසින් ප්රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩු දෙකේ වැටලීම කළ බව පවසමින් සාක්ෂිකරුවන් වශයෙන් නම්කර ඇති පොලිස් නිලධාරීන්ට විත්තිකරුට රුපියල් 25000/- බැගින් වන්දි ගෙවීමටයි නියම කර ඇත්තේ. විෂ වර්ග සහ අබිං අන්තරාදායක ඖෂධ පිළිබඳ පනත යටතේ අයකර ගනු ලබන දඩ මුදල් වලින් විශාල මුදල් ප්රමාණයක් පොලිස් තෑගි අරමුදලට බැර කරනු ලබන බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා මෙවැනි ආකාරයේ නිස්සාරණීය ලෙස නඩු පැවරීම් වලදීත් එම අරමුදල භාවිතා කළ යුතු බවද තීරණය කරමින් විත්තිකරුට එරෙහිව නිස්සාරණීය ලෙස පවරා ඇති එක් නඩුවකට රුපියල් 50000/- බැගින් නඩු දෙකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට පොලිස් දෙපාර්තමෙන්තුවට නියම කරමින් එහි පිටපතක් පොලිස්පතිවරයාටද යොමු කර තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ වැරදි පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමේ අරමුණින් මෙම නියෝගය ලබා දෙන ලද බව අවධාරණය කළ මහේස්ත්රාත්වරයා, මෙම නිලධාරීන් කිසිදු විනය ක්රියාමාර්ගයකට යටත් නොවිය යුතු බවයි අවධාරණය කර ඇත්තේ. මෙම පොලිස් නිලධාරීන් කිසියම් හෝ විනය ක්රියාමාර්ගයකට යටත් කරන්නේ නම් මෙවැනි ආකාරයෙන් වැටලීම් කරන ලෙසට ඔවුන්ට උපදෙස් දී ඇති ඉහළ සිට රාජකාරී කරන සියලුම පොලිස් නිලධාරීන් වගකීමට යටත් කළ යුතු බවද මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මෙම සිද්ධියෙන් පසු අවස්ථාවක කළ ඉල්ලීමකට අනුව රටේ අහිංසක මිනිසුන්ට එරෙහිව නිස්සාරණ ලෙස නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට බල නොකරන අන්දමින් චක්රලේඛයක් නිකුත් කිරීමට නියම කරමින් ඒ සඳහා පොලිස්පතිවරයාට කල් ලබා දීමක්ද සිදු කෙරුණා. ඒ සඳහා මෙම නඩුව මීට පෙර අවස්ථා දෙකකදී කැඳවන ලද නමුත් විවිධ හේතූන් මත එම කටයුත්ත කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් පොලිස් නිලධාරීන් නඩුව සඳහා දින ලබා ගෙන තිබුණා. ඒ අනුව නඩුව ඊයේ (21) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාශයේ නීතිඥවරුන් වන පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා සමග ප්රධාන පොලිස් පරීක්ෂ ප්රණීත ජයවර්ධන පෙනී සිටිමින් ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාශවල නිලධාරීන් අමතමින් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් 2026/10/19 වැනිදා නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා අදාළ මාර්ග උපදේශ මාලාව ඉතා සැලකිල්ලෙන් කියවා බැලූ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා‘මේක මාව අන්දවන්න කරන දෙයක්’ යනුවෙන් විවෘත අධිකරණයේදී පවසා තිබෙනවා.එම අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාශයේ නීතිඥවරුන් ඇමතූ මහේස්ත්රාත්වරයා.“මං නියෝග දීලා තියෙන්නේ කාටද?”ප්රධාන පොලිස් පරීක්ෂකවරයා: “පොලිස්පතිවරයාට”මහේස්ත්රාත්වරයා: “එතකොට මේ ලියුම කාගේද?”ප්රධාන පොලිස් පරීක්ෂකවරයා: “බස්නාහිර පළාත උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයාගේ.”මහේස්ත්රාත්වරයා: “මේක හරියට බල්ලගේ වැඩේ බූරුවාට බාර දීමක් වගේ. මුළු ලංකාවේම ඉන්න සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන්න කීවාම. පළාතෙන් පළා තේ ඉන්න පොලිස් නිලධාරීන්ට වෙන වෙනම උපදෙස් පත්රිකා නිකුත් කරහම හරි යනවාද?”“මේ සිද්ධියම වෙන පළාතක සිද්ධ වුණොත් ඒ පළාතේ ඉන්න පොලිස් නිලධාරියට වෙනම උපදෙස් පත්රිකාවක් නිකුත් කරනවද?”ප්රධාන පොලිස් පරීක්ෂකවරයා: “වැටලීම් සම්බන්ධයෙන් ශ්රී ලංකාවම ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කිරීම සඳහා බස්නාහිර පළාත භාර නියෝජ්ය පොලිස්පතිවරයා සමග දීර්ඝ සාකච්ඡාවක් කළා.”මහේස්ත්රාත්වරයා: “රෑට හීනෙන් දකින දේවල් වලට පහුවෙනිදා උදේ චක්රලේඛ නිකුත් කරන රටේ මේ වගේ දේකට අදාළව චක්රලේඛයක් නිකුත් කරන්නයි කියලා අධිකරණයෙන් නියෝගයක් දුන්නහම තමයි ඒක කරන්න බැරි?උසාවි නියෝගයකටත් පොලිසිය සලකන්නේ මෙහෙමනම්” රටේ අනිත් දේවල් ගැන කවර කතාද?”ප්රශ්ණ කළ මහෙස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා: “යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසුවත් කරන්නේ මේ ටිකම තමයි” පාර්ශව කාර්යයන්ට නඩුව එපා වෙනකන් අදිනවා, සාක්ෂිකාරයන්ට සිද්ධිය අමතක වෙනකන් නඩු පවරන්නේ නැතුව කල් අදිනවා. පොලිසිය උසාවියට දක්වන සැලකිල්ලේ තරම කොච්චරද කියල මේ ලිපියෙන්ම පේනවා’ යැයිද පවසා තිබෙනවා. පොලිසියේ ක්රියාකලාපයන් දීර්ඝ වේලාවක් තිස්සේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ ගම්පහ මහේස්ත්රාත්වරයා, පොලිස්පතිවරයාට දැනුම් දුන්නත් පොලිස් කොමිසමට දැනුම් දුන්නත් කිසිඳු පළක් නැති බවද මේ සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට මාස පහකට ආසන්න කාලයක් ලබාදී තිබුණත් අවශ්ය ක්රියාමාර්ග ගැනීම පසෙක තබා පොලිසිය කටයුතු කරන බවක් පෙනෙන්නට ඇති බවයි අවධාරණය කර ඇත්තේ. මෙම තත්ත්වය යටතේ පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් ඔහු අධිකරණයට අපහාස කර ඇති බව තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබෙනවා. Post navigation හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා ලබන 30 දක්වා යළිත් රිමාන්ඩ්.