මාධ්‍ය ආචාරධර්ම, සත්‍යවාදීත්වය සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යවේදීන්ගේ වගකීම පිළිබඳ තෙදින වැඩසටහනක් අතුරුගිරියේදී

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සහජීවනය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී මාධ්‍යයේ භූමිකාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) විසින් ‘සංහිඳියාව සඳහා මාධ්‍ය සංසදය’ පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ. එම නියමු වැඩසටහන පසුගිය 05 වැනිදා සිට 07 වැනිදා දක්වා අතුරුගිරිය NIPM ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.

ONUR පෙන්වා දෙන්නේ ගැටුම් පරිවර්තනය සහ සංහිඳියාව සඳහා මාධ්‍යයට සුවිශේෂී භූමිකාවක් පවතින බවයි. විශේෂයෙන්ම ජනතාව අතර සංවාදය ගොඩනැගීම, විවිධත්වය පිළිගැනීම සහ මෙතෙක් අඩුවෙන් අවධානයට ලක්වූ හඬවල් සමාජයට ගෙන ඒම සඳහා මාධ්‍යය භාවිත කළ හැකි බව එම කාර්යාලයේ මාධ්‍ය හා සන්නිවේදන වැඩසටහන් මගින් අවධාරණය කරයි.

මාධ්‍ය ආචාරධර්ම හා සංහිඳියාව පිළිබඳ විශේෂ අවධානයක්

නියමු වැඩසටහනේදී මාධ්‍ය ආචාරධර්ම සහ විනය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ‘සත්‍යවාදීත්වය’, ‘මනුෂ්‍යත්වය වෙනුවෙන් සන්නිවේදනය’, ‘මාධ්‍ය ග්‍රාහක සුසංවාදය’, ‘හෘද සාක්ෂ්‍ය’ සහ ‘අනාගතවාදීත්වය’ යන සංකල්ප හා මොඩියුල කේන්ද්‍ර කරගත් සාකච්ඡා සහ ක්‍රියාකාරකම් පැවැත්විණි.

මෙහි මූලික අරමුණ වූයේ වාර්තාකරණයේදී සත්‍යය හා වගකීම ආරක්ෂා කරමින්, ජාතික හා ආගමික විවිධත්වයට ගරු කරන සහ සමාජ බෙදීම් වෙනුවට සංවාදය හා සහජීවනය ප්‍රවර්ධනය කරන මාධ්‍ය භාවිතයක් පිළිබඳ අවබෝධය ශක්තිමත් කිරීමයි.

ONUR විසින් දැනටමත් සංහිඳියාවට අදාළ මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, වෛරී ප්‍රකාශ, සංවේදී සිදුවීම් අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය හරහා සමාජ බෙදීම් ඇතිවීම වැනි කරුණු සම්බන්ධයෙන් වගකීම් සහගත මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව අවධාරණය කරයි.

වැඩසටහනේ ආරම්භක දේශනය ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලදී. වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායකයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි මහතා එක්වූ අතර, සම සම්පත්දායකයින් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක චන්දන තිලකරත්න, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, ප්‍රවීණ ලේඛක හා මාධ්‍යවේදී කසුන් පුස්සවෙල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී ඉෆ්තියා කාදර්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී රන්සි රණසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී ප්‍රමිශ්කා සහ කථිකාචාර්ය නුවන් සුභසිංහ යන මහත්ම මහත්මීහු එක්වූහ.
වැඩසටහන මෙහෙයවීම ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එච්. එස්. ලක්මාල් මහතා විසින් සිදුකරන ලදී.

මාධ්‍යය සංහිඳියාවේ මෙවලමක් කර ගැනීම

ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික කණ්ඩායම් අතර අවබෝධය සහ විශ්වාසය වර්ධනය කිරීමේදී මාධ්‍යයට කළ හැකි දායකත්වය සම්බන්ධයෙන් ONUR දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. එහි මාධ්‍ය හා සන්නිවේදන වැඩසටහන යටතේ ධනාත්මක සන්නිවේදනය, සංවාදය, ජනවාර්ගික විවිධත්වය පිළිබිඹු කිරීම සහ ප්‍රජාවන්ගේ හඬ ශක්තිමත් කිරීම වැනි අංශ කෙරෙහි අවධානය යොමු කර ඇත.

එමෙන්ම මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමද ONUR හි පුළුල් සංහිඳියා ක්‍රියාකාරකම්වල කොටසකි. 2026 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ එක්ව ගුවන්විදුලි මාධ්‍ය පුහුණු වැඩසටහන් ද මේ හරහා ක්‍රියාත්මක කර තිබේ.

නිමාවූ, මෙම නියමු ව්‍යාපෘතිය හරහා මාධ්‍යවේදීන් අතර සංහිඳියාව පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කරමින්, අනාගතයේදී සංහිඳියාව වෙනුවෙන් ක්‍රියා කරන මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාලයක් හා මාධ්‍ය සංසදයක් ගොඩනැගීම සඳහා පදනමක් සකස් කිරීම අපේක්ෂාව වී තිබේ.

ONUR යනු ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද ආයතනයක් වන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ විවිධත්වය සමරන අතරම සියලු ජන කොටස්වල මූලික අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය තහවුරු වන සමාජයක් ගොඩනැගීමයි. ඒ වෙනුවෙන්, 2015 අප්‍රේල් 8 දිනැති කැබිනට් තීරණය මත ONUR පිහිටුවා ඇති අතර, 2015 දෙසැම්බර් 18 දිනැති ගැසට් පත්‍රය මගින් ජාතික සංහිඳියාවට අදාළ කටයුතු එම කාර්යාලයට පවරන ලදී. 2020 අගෝස්තු 9 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එය අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කර ඇති අතර, 2024 අංක 1 දරන ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත මගින් එය ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කර තිබේ.

මාධ්‍යය තොරතුරු සපයන මෙවලමක් පමණක් නොව, සමාජය සුවපත් කිරීමේ, විශ්වාසය ගොඩනැගීමේ සහ විවිධත්වය අතර පාලම් තැනීමේ බලවත් මෙවලමක් බවට පත් කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට මාධ්‍යයේ දායකත්වය නව මානයකට ගෙන යාමට වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *