දශක තුනක ඊලාම් යුද්ධයේ තීරණාත්මක සටනක් වූ කොකාවිල් කඳවුර රැක ගැනීමේ සටන සහ එහි වගකීම තම හිස මතට ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ කපිතාන් සාලිය අලදෙනිය ඇතුළු සෙසු නිලධාරීන්ගේ කතා පුවත වූ “කොකාවිල් සටන” සිනමාවට රැගෙන එන ‘පරම වීර පූජා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවැත්වුනි.

වවුනියාවෙන් උතුරෙහි සහ අලිමංකඩෙන් දකුණෙහි පිහිටි වන්නි ප්‍රදේශයේ කොකාවිල් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටා තිබුනේ නුවර – යාපනය ඒ – 9 මාර්ගයේ කිලිනොච්චියට ආසන්න ඉතා කුඩා භූමිභාගයකය. මුළු භූමි ප්‍රමාණය අක්කර දෙකක වපසරියකින් යුක්තය. වර්ෂ 1982 දී ජපන් රජයේ ආධාර මත කොකාවිල්හි මුලින්ම ඉදි කරනු ලැබූ සම්ප්‍රේෂණ කුලුන මඟින් වවුනියාවෙන් ඔබ්බට වූ දිවයිනේ උතුරු ප්‍රදේශයට VHF සංඛ්‍යාත පරාසවලින් යුතු රූපවාහිනී තරංග සම්ප්‍රේෂණයට අවකාශය සැලසිණි. සංග්‍රාමික වශයෙන් උතුරේ ආරක්ෂක හමුදා කඳවුරුවලට කොළඹ යුද හමුදා මූලස්ථානයේ සිට සියලු තොරතුරු යොමු කරන ලද්දේ කොකාවිල් හි පිහිටි මෙම රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය හා විදුලි සංදේශ කුලුන හරහා නිසා එය උපක්‍රමික වශයෙන් ඉතාම වැදගත් යුධ මර්මස්ථානයක් විය.

ඒ වනවිට මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ආරක්ෂා කිරීමේ වගකීම භාරව තිබූයේ 3 වැනි සිංහ රෙජිමේන්තුවට වන අතර ඒ යටතේ ලුතිනන් ජයරත්න රත්නායකගේ අණදීම මත හමුදා අනුඛණ්ඩයක් කොකාවිල් හී ස්ථානගත කර තිබුනි. එවකට උප ලුතිතන් වරයෙකු වූ සාලිය උපුල් අලදෙනිය එම අනුඛණ්ඩයේ දෙවන අණ දෙන්නා විය. කොකාවිල් අණු ඛණ්ඩයේ සෙබළුන් 79 ක් සහ සිවිල් සේවකයන් 05 දෙනෙකු සේවය කල අතර මෙම ඉතිහාසගත ත්‍රස්ත්‍රප්‍රහාරය සිදුවූ දින වල අණුඛණ්ඩභාර ලුතිතන් රත්නායක සහ තවත් සෙබළුන් 16 දෙනෙකු නිවාඩු ලබා කඳවුරෙන් බැහැර ගොස් සිටි නිසා කඳවුරට අණදීම සිදුකලේ දෙවන ලුතිතන් සාලිය අලදෙනියයි.

1990 ජූලි මස කොකාවිල් කඳවුර වට කර ත්‍රස්තවාදීන් විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ජූලි 10 දා වනවිට සතියකට ආසන්න කාලයක් කොටි ත්‍රස්තවාදීන් විසින් කොකාවිල් අනුඛණ්ඩයට වරින්වර දරුණු ප්‍රහාර එල්ල කළ අතර කඳවුර සඳහා තිබෙන සියලු සැපයුම් මාර්ග අඩාළ කර තිබිණි. කොටින්ගේ දැවැන්ත ප්‍රහාර හමුවේ රණවිරුවන් තුවාල ලබා දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය සටන නොනවත්වා කරගෙන ගියහ. ලුතිනන් අලදෙනිය තම කඳවුර රැකගැනීම සඳහා සහෝදර රණවිරුවන් දිරිමත් කරමින් නිදිවර්ජිතව කුසගින්න පවා ඉවසමින් සටන් කළ අතර ගෙවීයන සෑම මොහොතකම ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ කොකාවිල් කඳවුර දැඩි පීඩනයකට ලක්වෙමින් තිබිණි. මේ වන විට කඳවුර අත්හැර පසුබසින ලෙස ඉහළින් නියෝග ලැබුණත් ලුතිනන් අලදෙනිය යටත් වනවාට වඩා උනුන් මරාගෙන මියයෑම ගෞරවනීය බව සඳහන් කරමින් පලායෑම වෙනුවට මරණය තෝරා ගත්තේය.

කොකාවිල් සටනේ තීරණාත්මක හෝරා කීපය එළඹියේ ජූලි 11 වැනිදාය. කඳවුර බේරාගැනීමට දැරූ සියලු උත්සාහයන් මුළුමනින්ම ව්‍යර්ත වූ බව දැනගත් ලුතිනන් අලදෙනිය සිය සගයන් ළඟට කැඳවා ගන්නේ අවසන් විකල්පය දැනුම් දීමටය. “තව මොහොතකින් කඳවුර ත්‍රස්තවාදීන් අතට පත්වන බවත් ඉහලින් නියෝග කර ඇත්තේ කඳවුර අතහැර පසුබසින ලෙස වුවත් තමන් මරණය දක්වා කඳවුර අත්නොහැර සිටින බව සඳහන් කරන ලදී. එමෙන්ම කැමති ඕනෑම අයෙකුට කඳවුර අතහැර පසුබැසීමට අවසර ඇති බවත් ලුතිතන් අලදෙනිය සඳහන් කර ඇත.

අනතුරුව, තමාගේ ජීවිතය රට වෙනුවෙන් පුද කිරීමේ අභීත තීරණයකට සිය කැමැත්තෙන්ම එළැඹුණු ලුතිතන් අලදෙනිය අවසානයේ කොටි ත්‍රස්තවාදීන් තම කඳවුර තුළට ළඟා වන විට ඔවුන්ද සමඟ තමන්ද විනාශ වන සේ කඳවුර තුළට බෝම්බ හෙළන ලෙස ගුවන් හමුදාවෙන් ඉල්ලා සිටියේය. තමා තව මොහොතකින් මියයන බව දැන දැනම බෝම්බ හෙළීම බලාපොරොත්තුව සිටි ඒ වීරෝධාර රණවිරුවා සිය සහෝදර රණවිරුවන්ද සමඟ 1990 ජූලි මස 11 දින සන්ධ්‍යාවේ රටදැය වෙනුවෙන් සිය ජීවිත පූජා කරන ලදී.

ඉතිහාසගත එකී කොකාවිල් සටනේදී ලුතිතන් සාලිය අලදෙණිය සමඟ යුධ හමුදා සෙසු නිළයන් 53 දෙනෙකු සහ හමුදා සිවිල් සේවක මහතුන් 02 දෙදෙනකු ජීවිතක්ෂ්‍යයට පත් වී ඇත.

පසුව ත්‍රස්‌තවාදීන් විසින් අත්පත් කරගන්නා ලද ඒ භූමියේ තාවකාලිකව අටවාගත් කුඩා කුලුනක් මඟින් තම ගුවන්විදුලි නාලිකාව වූ ‘වොයිස් ඔෆ් ටයිගර්ස්’ ප්‍රචාරණයත් ඔවුන්ගේ අනෙකුත් සම්ප්‍රේෂණ සන්නිවේදන කටයුතුත් සිදු කරගන්නා ලදි. කෙසේ වෙතත් 2006 දී ගුවන් හමුදාව සිදු කළ ක්‍රියාන්විතයකදී ඔවුන්ගේ ඒ තාවකාලික සම්ප්‍රේෂණ කුලුන හා උපකරණ වෙත ගුවනින් බෝම්බ දමා විනාශයට පත් කරදමන්නට සමත් වූ අතර, 2009 දී ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශය කොටි ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු එහි නව සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයක් ඉදි කිරීම ආරම්භ කරන ලදි. එහිදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අධීක්ෂණයෙන් ඉදි කළ නව මධ්‍යස්‌ථානය ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි සම්ප්‍රේෂණ කුලුන වන අතර,‍ එහි උස මී. 174 කි. එමෙන්ම එය දකුණු ආසියාවේ පිහිටි වැඩිම උසකින් යුත් ස්වයං ආධාරක සම්ප්‍රේෂණ කුලුනද වේ.

එවන් අභීත මෙන්ම සංවේගාත්මක ඉතිහාසයක් සහිත කොකාවිල් සටන, ‘පරම වීර පූජා’ නමින් සිනමා සජීවීකරණයට ලක්කර ජනතාවට නැරඹීමට ඉඩහසර ලබාදීමේ අභියෝගයට නිෂ්පාදනයෙන් අනුර ජසෙන්තුලියන, අධ්‍යක්ෂණයෙන් ගෲප් කපිතාන් (විශ්‍රාමික) ක්‍රිෂාන්ත මනම්පේරි, කතාව දෙබස් හා තිර රචනය කර්නල් (විශ්‍රාමික) චන්න කරුණාතිලක දායක වන අතර දවස් 40ක් පුරා මුලතිව්, ඉරණමඩු, මාන්කුලම්, කිළිනොච්ච්, මහනුවර, උඩුදුම්බර, තෙල්දෙණිය ආදී දර්ශනතලවල රූගත කිරීමි සිදු කිරීමට නියමිතය.
ප්‍රධාන රංගන ශිල්පින් සහ ශිල්පිණියක් 35 කට වැඩි ප්‍රමාණයක් මීට දායක වන අතර ශාම් ප්‍රනාන්දු, මේඝ සූරියආරච්චි, දසුන් පතිරන, රොශාන් රවීන්ද්‍ර, බුද්ධික ජයරත්න, පූජන දන්දෙනිය, දිනෙත් ද සිල්වා, අංජන ප්‍රේමරත්න, චානුක ප්‍රබුද්ධ, අමා විජේසේකර, දිනෙශරා පුංචිහේවා සහ සුරාජ් මාපා රංගනයෙන් දායක වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *