Post Views: 119 ලෝක සිනමාවේ සටන්කාමී පෞරුෂයේ සංකේතයක් බඳු වූ චක් නොරිස්, අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිල වශයෙන් නිවේදනය කර තිබේ. “missing in Action” සහ “Walker, Texas Ranger” වැනි නිර්මාණ හරහා දශක ගණනාවක් ලෝක ප්‍රේක්ෂක හදවත් දිනූ ඔහු, සැබෑ ජීවිතයේද අතිදක්ෂ සටන් කලාකරුවෙකු ලෙස ප්‍රකටව සිටියේය. 1940 මාර්තු 10 වනදා උපත ලැබූ කාලෝස් රේ නොරිස් (Carlos Ray Norris), ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කරන අතරතුර කොරියාවේදී සටන් කලාව හැදෑරීමට යොමු විය. ඉන්පසු ඔහු කරාටේ, ටයිකොන්ඩෝ, සහ ජූඩෝ වැනි විවිධ සටන් ක්‍රමවල කළු පටි (Black Belts) රාශියක් දිනාගත් අයෙකි. ඔහුගේ සිනමා දිවියේ ස්වර්ණමය අවස්ථාව සනිටුහන් වූයේ 1972 වසරේදීය. බෲස් ලීගේ ඇරයුමෙන් ‘The Way of the Dragon’ චිත්‍රපටයේ ඔහු රඟපෑ රෝමයේ කොලෝසියම් සටන් ජවනිකාව, අදටත් සිනමා ඉතිහාසයේ හොඳම සටන් දර්ශනය ලෙස සැලකේ. 1993 සිට 2001 දක්වා විකාශනය වූ ‘Walker, Texas Ranger’ ටෙලි කතා මාලාව හරහා ඔහු ලැබූ ජනප්‍රියත්වය අසමසම වේ. එහි ඔහු නිරූපණය කළ නිර්භීත රේන්ජර් නිලධාරියාගේ චරිතය ඔහුව ඇමරිකානු සංස්කෘතියේ වීරයෙකු බවට පත් කළේය. බොහෝ දෙනා ඔහුව නළුවෙකු ලෙස හඳුනා ගත්තද, ඔහු සැබෑ ලෝකයේ දක්ෂ සටන්කරුවෙකි. 1968 වසරේදී වෘත්තීය මට්ටමේ ‘මධ්‍යම බර පන්තියේ කරාටේ ලෝක ශූරතාවය’ (World Professional Middleweight Karate Champion) දිනාගත් ඔහු, වසර හයක් පුරා එම ශූරතාවය නොකඩවා රැකගනිමින් ලෝක කරාටේ ශූරයා ලෙස කිරුළු පැළඳි සැබෑ සටන්කරුවෙකි. 1974 වසරේදී ඔහු සටන් ලෝකයෙන් සමුගන්නා විට ඔහුගේ වාර්තාව වූයේ ජයග්‍රහණ 183ක්, පරාජයන් 10ක් සහ සම මට්ටමේ තරඟ 2කි. ලොව වටා සිටින සටන්කාමී සිනමාලෝලීන් අතර ‘චක් නොරිස්’ යනු නමක් නොව සන්නාමයකි. මියයන විට 86 වන වියෙහි සිටි ඔහු වත්මන් තරුණ ප්‍රජාව අතරත් ජනප්‍රිය සටන් නළුවෙකි. Post navigation නතාෂා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය සමාව ගනී.