Post Views: 185 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර තීරණාත්මක තරගයේ සුපිරි පන්දුවාරය (Super Over) ක්‍රියාත්මක කිරීමට එවිට පැමිණ සිටියේ 19 හැවිරිදි තරුණයෙකි. දැඩි පීඩනයක් මධ්‍යයේ ඉන්දීය පිතිකරුවන්ට ලකුණු 9 ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක් උරුම කර දුන් ඔහු, යාපනයෙන් බිහිවූ දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩක කුගදාස් මාතුලන් (Kugadas Mathulan) ය. එහෙත් මේ විශිෂ්ඨ ජයග්‍රහණය පිටුපස ඇත්තේ, යුද්ධයේ අඳුරු සෙවණැලි මැදින් නැගී සිටි අසිරිමත් මිනිසෙකුගේ ජීවන අරගලයයි. මාතුලන්ගේ ළමා කාලය සුන්දර එකක් නොවීය. 2007 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති දරුණු යුද වාතාවරණයේ අවසන් අදියර නිසා ඔහුගේ පවුල දැඩි ලෙස පීඩාවට පත් විය. වන්නි ප්‍රදේශයේ සිට මුල්ලිවයික්කාල් දක්වාත්, අනතුරුව වවුනියාව සංක්‍රමණික කඳවුර දක්වාත් දහස් සංඛ්‍යාත ජනතාව සමඟ ඔවුන්ට ද අවතැන් වීමට සිදු විය. පසුව කඳවුරෙන් මුදා හැරීමෙන් පසු, සාමකාමී අනාගතයක් අපේක්ෂාවෙන් ඔවුන් යාපනයේ කොන්ඩාවිල් ප්‍රදේශයේ නැවත පදිංචි විය. යාපනයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මාතුලන්ට, ශිෂ්‍යත්ව විභාගයෙන් ජාතික පාසලකට ඇතුළත් වීමට තිබූ අවස්ථාව අහිමි වූයේ එකම එක ලකුණකිනි. එහෙත් දෛවය වෙනස් විය. මාතුලන්ගේ දක්ෂතාවය සහ අවාසනාවන්ත ලෙස ලකුණකින් පාසල අහිමි වූ පුවත කැනඩාවේ වෙසෙන ශාන්ත ජෝන් විද්‍යාලයේ (St. John’s College) ආදි ශිෂ්‍යයකු වන ෂෙල්ටන් මහතාට සැල විය. ඔහු වහාම ඉදිරිපත් වී මාතුලන්ගේ සම්පූර්ණ අධ්‍යාපන වියදම් දැරීමට අනුග්‍රහය දැක්වීය. විදුහල්පතිතුමාගේ ද සහාය ඇතිව මාතුලන් ඓතිහාසික ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළත් වූ අතර, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පරිසරයක ඔහුගේ නව ජීවිතය ඇරඹුණි. ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලැදියාවක් දැක්වූ තම පියාගේ දිරිගැන්වීම මත මාතුලන් පාසල් ක්‍රිකට් පුහුණුවීම්වලට එක් විය. ඔහුගේ සහජ වේගය හඳුනාගත් පුහුණුකරුවන් ඔහුව වයස් කාණ්ඩ කණ්ඩායම් ඔස්සේ ඉදිරියට රැගෙන ආ අතර, 2022/23 වාරයේදී ඔහු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ද තේරී පත් විය. මාතුලන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ 2023 ඔක්තෝබර් මාසයේදීය. යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ (Jaffna Stallions) කණ්ඩායම විසින් දක්ෂයන් සෙවීමේ කඳවුරක් සංවිධානය කර තිබුණි. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ බිහිවූ අසහාය වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස් ය. මාතුලන් නමැති අපූරු වේගපන්දු යවන්නා ගැන ආරංචි වී තිබුණ ද, එදින සවස් වනතුරුම මාතුලන් එහි පැමිණ සිටියේ නැත. සවස 4 ට පමණ මාතුලන්ගේ පියා ඔහුව සොයා ගන්නා විට ඔහු මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි අතර, පියා ඔහුව වහාම හින්දු විද්‍යාල පිටියට රැගෙන ආවේය. ඔවුන් එන විට පරීක්ෂණ අවසන් කර චමින්ද වාස් සිය බෑග් පවා අසුරමින් සිටියේය. වේගපන්දු පරීක්ෂණ නිල වශයෙන් අවසන් වී තිබූ බැවින් බ්‍රිජේෂ් ජෙගනාදන් භාරයේ තිබූ දැල් පුහුණු තීරුව වෙත මාතුලන්ව යොමු කෙරිණි. මාතුලන් පැමිණ යැවූ පළමු පන්දුවම පිතිකරුවාගේ පාද අතරින් ඇදී ගිය දරුණු ‘යෝකර්’ (Yorker) පන්දුවක් විය. මින් මවිත වූ බ්‍රිජේෂ්, වහාම සිංහලෙන් කෑගසා චමින්ද වාස්ට මේ දෙස බලන ලෙස පැවසීය. වාස් බෑග් ඇසිරීම නතර කර, වේගය මනින උපකරණය (Speed Gun) රැගෙන දැල වෙත පැමිණියේය. මාතුලන්ගේ පන්දු යැවීම දෙස බලා සිටි ප්‍රවීණ ක්‍රීඩකයාගේ මුහුණට සිනහවක් නැගුණි. එහිදී පන්දුවේ වේගය පැයට කිලෝමීටර 125, 127 සහ අවසානයේ 135ක් ලෙස සටහන් විය! ඔහුගේ ඉලක්කය පරීක්ෂා කිරීමට බ්‍රිජේෂ් සිය තොප්පිය තණතීරුව මත තැබූ අතර, මාතුලන් කෙළින්ම පන්දුව තොප්පිය මත වද්දා කඩුල්ල බිඳ දැමීය. 2024 මාර්තු මාසයේදී යාපනය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පැවැත්වීමට තිබූ 117 වැනි ‘උතුරු මහා සංග්‍රාමය’ (Battle of the North) තරගයට පෙර මාතුලන්ගේ පාදයේ මහපටැඟිල්ලේ ඇති වූ දරුණු ආබාධයක් හේතුවෙන් ඔහුට තරගය අහිමි වීමේ තර්ජනයක් මතු විය. සඳුදා පුහුණුවීම් අහිමි වූ අතර, බදාදා වන විට වෛද්‍ය ගෝබිශංකර් මහතා ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කරමින් සිටියේය. ආබාධය මැද වුවද තරගයට ක්‍රීඩා කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වූ මාතුලන් සහ තවත් ආබාධිත ක්‍රීඩකයෙකු වූ කවිෂාන් කණ්ඩායමට ඇතුළත් කරගන්නා ලදී. තරගයේදී යාපනය මධ්‍ය මහා විද්‍යාලය ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් සමඟින් ලකුණු 300කට වඩා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියේය. ශාන්ත ජෝන් විද්‍යාලය පළමු පන්දුවාරය දඟපන්දු යවන්නෙකු ලවා යැවීමෙන් සියල්ලන් මවිත කළ අතර, ඉන්පසු ඔරලෝසු කණුව දෙසින් (Clock Tower end) වේගයෙන් දිව ආ මාතුලන් සිය අතිශය වේගවත් පන්දු ප්‍රහාරය දියත් කළේය. ඔහුගේ 5 වැනි පන්දුවෙන් ප්‍රතිදිරි පිලේ තරුව වූ සින්තුජන්ගේ කඩුල්ල බිඳ වැටුණ ද, එය නිපන්දුවක් (No-ball) ලෙස සටහන් විය. කෙසේ වුවද, දෙවැනි දිනයේ සවස මාතුලන් විසින් අබිලාෂ්ගේ කඩුල්ල කුඩුපට්ටම් කර දැමූ අයුරු දැක්වෙන වීඩියෝව, දේශීය රූපවාහිනී විචාරකයන්ගේ වර්ණනාව ද සමඟින් ලෝක ක්‍රිකට් සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ විය. මහා තරගය අවසන් වූ වහාම, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් (CSK) කණ්ඩායම විසින් මාතුලන්ට දැල් පන්දු යවන්නෙකු (Net Bowler) ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවට යාපනය පුරා රාවයක් පැතිර ගියේය. පාසල් බලධාරීන්ගේ අවසරය මත ඔහු වහාම චෙන්නායි බලා පියාසර කළේය. චෙන්නායි හි චෙපොක් ක්‍රීඩාංගණයේදී මාතුලන්ට පන්දු යැවීමට ලැබුණේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තයෙකු වන එම්. එස්. ධෝනිට (MS Dhoni) ය. එහිදී ධෝනි වෙත පන්දු 12ක් යැවීමට මාතුලන්ට අවස්ථාව ලැබුණු අතර, ඉන් ධෝනිට එල්ල කිරීමට හැකි වූයේ හයේ පහරවල් 2ක් පමණි! කෙසේ වෙතත්, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිරීක්ෂණය කළ CSK භෞතචිකිත්සකවරයා, මාතුලන්ගේ පාදයේ තිබූ පැරණි ආබාධය හඳුනාගෙන, දිගුකාලීන අනතුරක් වළක්වා ගැනීම සඳහා පන්දු යැවීම නතර කර නිසි වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙස උපදෙස් දුන්නේය. මාතුලන් යනු ක්‍රිකට්වලට පමණක් නොව, කෙටි දුර ධාවනයට සහ හෙල්ල විසි කිරීමට ද සුවිශේෂී දක්ෂතා දැක්වූ තුන්ඉරියව් මලල ක්‍රීඩකයෙකි. පාසලේ දැඩි විනය නීති රීති මධ්‍යයේ හැදී වැඩුනු මෙම දඩබ්බර, එහෙත් අතිශය දක්ෂ තරුණයා නිසි මඟට ගැනීමට ඔහුගේ දෙමාපියන්, විදුහල්පතිතුමා, පුහුණුකරුවන් සහ ආදි ශිය්‍යයන් මෙන්ම ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ ඇකඩමිය ඉටුකළ මෙහෙවර අගය කළ යුතුය. කලකට පෙර යාපනයෙන් බිහිවූ විජයකාන්ත් වියාස්කාන්ත් ගිය ජාත්‍යන්තර මඟ ඔස්සේ යමින්, කුගදාස් මාතුලන් ද ඊයේ දිනයේදී තමන් කවුදැයි ලෝකයටම ඔප්පු කර පෙන්වීය. තමන්ටම ආවේණික වූ ‘ස්ලින්ගි’ (Slingy – ඇලයට පන්දු යැවීමේ) ඉරියව්ව සහ පීඩනය දරාගැනීමේ අසිරු හැකියාව තුළින්, දුෂ්කර ළමා කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළටම පැමිණි මාතුලන්ගේ කතාව, උතුරුකරයෙන් මතුවන සහජ දක්ෂතාවලට අගනා ආදර්ශයකි. Post navigation HSBC ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්.