වර්තමානය වන විටදී ගෝලීය මට්ටමින් LGBTIQ+ ප්‍රජාවට තිබෙන සමාජය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර ඒ තුළ ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද වැඩිදියුණු කිරීමට ලොව බොහෝ රටවල් ඉතාම සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබීම සුභදායක තත්ත්වයකි. LGBTIQ+ පුද්ගලයින්ට සැලකීම සම්බන්ධයෙන් විවිධ සමාජ සම්මතයන් ලෝකය පුරා පවතින අතර මෙම ප්‍රජාවට බලපාන ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට සහ වෙනස් කොට සලකන ප්‍රතිපත්ති සහ නීති වෙනස් කිරීමට බොහෝ බටහිර රටවල් පියවර ගන්නා ලදී. එම තත්ත්වය නිසාම දකුණ ආසියානු කලාපය තුළ යටත් විජිත සමයේ හඳුන්වා දුන් නීති අනපනත් මගින් මෙම ප්‍රජාව ආන්තිකරණයට ලක් කිරීම වෙනස් කිරීමට ඉන්දියාව සහ නේපාලය වැනි රටවල්ද ක්‍රියාකාරී ලෙස පියවර ගෙන ඇත.

එහි ඉතාමත් සාධනීය පියවරක් ගත් රටක් ලෙස සමරිසි විවාහ නීති ගත කළ ප්‍රථම දකුණු ආසියානු රට ලෙස නේපාලය ඉතිහාසයට එක්වන අතර LGBTIQ+ ප්‍රජාවේ අයිතීන් සම්බන්ධයෙන් කලාපය තුළ සිදුවන එවැනි වැදගත් සිදුවීම් තුළින් ඔවුන්ගේ සිවිල් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳ අපටද යම් අවබෝධයක් ලැබෙන බව පැහැදිලිය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන සහ 12 වන වගන්තිය හරහා පුරවැසියන්ට ලබා දී ඇති ආරක්ෂාව හා අයිතිවාසිකම නොසලකා මෙරට සමාජය තුළ LGBTIQ+ ප්‍රජාවේ පුද්ගලයින්ට එරෙහිව සිදුවන විවිධාකාරයේ හිංසනයන් සහ අවමන් සහගත සැලකීම්වලට නැවතීමේ සිත තැබීමට සැම එක් විය යුතුය.

LGBTIQ+ ප්‍රජාව අප සමාජය තුළ පීඩාවට පත්වීම ගැන ඉතාම හොඳ අවබෝධයක් ලබා ගැනීමට අපි නිත්‍යාගේ කතාව දෙස අවධානය යොමු කරමු. නිත්‍යා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් විධායිකාවක ලෙස සේවය කරන සුන්දර යුවතියකි. ආයතනයේ කා සමගත් සුහදව කටයුතු කරන ඇය දකින ඕනෑම අයෙකුට හැඟෙනුයේ ජීවිතය ඉතාම සතුටින් ගත කරන වාසනාවන්ත යුවතියක් ලෙසටයි. නිත්‍යා දුටු පළමු දිනයේදීම මටද එසේ හැඟී යා හැකිව තිබූ නමුත් ඇයව මට හඳුන්වා දුන් මිතුරියගේ පෙර දැනුවත් කිරීම නිසා මා එම හැඟීමෙන් මිදුණෙමි. මෙතැන් සිට මම ඔබට ගෙනෙන්නේ නිත්‍යාගේ කතාවයි.

“මම දැන් කොළඹ ජීවත් උනාට මගේ උපන්ගම බදුල්ලේ, හෙම්මාතගම කියන බොහොම දුෂ්කර ගමක්. අපේ පවුලේ දෙවෙනි දරුවා විදිහට ඉපදුනහම දෙමව්පියෝ මට දාපු නම තමයි නිමල්, පුදුම වෙන්න දෙයක් නෑ ඇත්තටම උපදිනකොට මම පිරිමි ළමයෙක් නිසා තමයි මට ඒ නම දාලා තියෙන්නේ. හැබැයි පිරිමියෙක් විදියට ඉපදුනත් මට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලම මම හැසිරුනේ ගෑණු ළමයෙක් වගේ. වැඩිපුරම ගැවසෙන්න කැමති වුනෙත් ගෑණු ළමයි අතරමයි. පුංචි කාලේ මගේ දෙමාපියන්ට වගේම අහල පහල අයටත් මේක ඒ තරම් ලොකුවට නොදැනුනාට මම ටිකෙන් ටික වැඩෙනකොට මගේ මේ හැසිරීම සමාජයට ගැටලුවක් වෙන්න පටන් ගත්තා”. යනුවෙන් පවසමින් නිත්‍යා යළිත් ඒ අඳුරු අතීතය ගැන සිහිපත් කළාය.

“මට මතකයි මම ඉස්කෝලේ නමයේ පන්තියේ ඉන්නකොට දවසක් මට ටීචර් කෙනෙක් බොහොම නරක විදිහට බැනපු අවස්ථාවක්. මීට කලිනුත් ඉස්කෝලෙදි ළමයි ගුරුවරු මට පුංචි පුංචි විදියට අපහාසාත්මක වචන භාවිතා කරලා තිබුනත් එදානම් බොහොම දරුණු විදියට මට බැනපු දේවල් හිතට කා වැදුනා. එදා ඒ ගුරුතුමිය මට ප්‍රසිද්ධියේම “තමුන් නපුංසකයෙක් නේ ඒකනෙ ගෑනු අස්සෙම දඟලන්න” කියලා බොහොම අපහාසාත්මක ලෙස කතා කළා. පුංචි ළමයෙක් විදියට මට ඒක ඉතාම බරපතල විදියට හිතට වේදනාවක් උනත් එදා මම හිතා ගත්තා කවුරු මොනවා කිව්වත් හොඳට ඉගෙන ගන්නවා කියලා. මොකද ඒ වෙනකොටත් මට වැටහුණා අපිට ගොඩ යන්න තියෙන එකම පාර හොඳින් ඉගෙන ගැනීම විතරමයි කියලා. ඒ නිසාම මොන බාධක ආවත් අන්තිමට මම සාමාන්‍ය පෙළත් සමත් වෙලා ඊට පස්සේ උසස් පෙළත් කරලා විශ්ව විද්‍යාලයට තේරුණා” නිත්‍යා බොහොම ආඩම්බර හිනාවක් එක්ක එහෙම කිව්වා.

“නමුත් මම තීරණය කළා විශ්ව විද්‍යාලයට යන්නේ නැතිව මගේ උසස් අධ්‍යාපනය කළ යුතුයි කියලා මොකද ඒ කාලේ වෙනකොට මගේ ශරීරයේ පෙනීම තිබුනේ පිරිමියෙකුට වඩා කාන්තාවක් විදිහට ඉතින් ඒ වගේ තත්ත්වයක් මත මම විශ්ව විද්‍යාලයට ගියානම් මොන වගේ වාතාවරණයක් ඇතිවෙයිද කියලා මට ලොකු බයක් දැනුනා. ඒකට ලොකුම හේතු වුණේ මං වගේම අක්ක කෙනෙක් විශ්ව විද්‍යාලයට තේරිලා ගියහම එයාට නවක වදේ කියලා කරල තිබ්බ බොහොම අමානුෂික වගේම අප්‍රසන්න දේවල් එයා මට කියලා තිබ්බ නිසයි. ඒක හින්දා මම රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන්නේ නැතිව පුද්ගලිකව මගේ උපාධිය හදාරන්න සූදානම් වුණා. කොහොම හරි මම කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක් කරන ගමන් මගේ ඉදිරි අධ්‍යාපනයත් කරන්න ගත්තා. ඒ අතරම මම කොළඹ ජාතික රෝහලේ සායන වලටත් සහභාගී වුණා. එතනදී තමයි මට නිවැරදිව උපදෙස් ලැබුණේ මගේ ශරීරයේ පවතින මේ පරිවර්තනය නිසි ලෙස හසුරවාගෙන මට කාන්තාවක් ලෙස කටයුතු කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම දිගටම වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් අනුගමනය කළා ඔවුන්ගේ මග පෙන්වීම අනුව මම මගේ නම පවා වෙනස් කර ගැනීමට කටයුතු කළා. ඒ අතරම මගේ උපාධියත් අවසන් කරලා දැන් මේ කරන රස්සාවට ආවා. ඇත්තටම දැන් තමයි මට මම ජීවත් වෙනවා කියලා හිතෙන්නෙ. මට දැන් හරිම පහසුවක් දැනෙනවා තැනකට ගියහම මොකද මම දැන් කාන්තාවක් විදියට සමාජයීය අනන්‍යතාවයක් එක්ක ඉන්න නිසා”.

“හැබැයි ඉතින් මේ කිසි දෙයක් පහසුවෙන් මට ලැබුණු දේවල් නම් නෙමේ. සමහරක් දවස් වලට මම තනියම එළිවෙනකම් අඬපු දවස් තියෙනවා. ඒ වගේම මගේ ප්‍රශ්න සියල්ල දැන් ඉවරයි කියලා කියන්නත් බැහැ. ඇත්තටම දැන් තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම අභියෝගාත්මක කාලය කියලා හිතෙන්නේ. මොකද මම දැන් පෙම්වතියක් මගේ ආදරවන්තයා නම් මං ගැන ඇත්ත සියල්ලම දැනගෙන හිටියට එයාලගේ පවුලේ කවුරුවත් මගේ අතීතය ගැන දන්නේ නැහැ. ඉතිං මගේ ඇත්ත විස්තරය දැනගත්ත දාට එයාලා මාව මොන විදිහකට පිළිගනීද කියන එක තමා මට තියෙන ලොකුම බය. නිත්‍යා ගැඹුරු හුස්මක් හෙලමින් පැවසීය. මං හිතන්නේ අපි රටක් විදියට ඉදිරියට යන්න නම් LGBTIQ+ ප්‍රජාව ගැන මෙයට වඩා දැනුවත්ව අපේ සමාජයේ තියෙන ගතානුගතික මතිමතාන්තර අපි වෙනස් කරගන්න ඕනේ කියලයි” නිත්‍යා අවසන පැවසීය.
සත්‍ය ලෙසම කුඩා කල පටන් විවිධ සමාජගරහීම හමුවේ මානසික පීඩාවට පත්වෙමින් වුවද නිමල් ලෙසින් උපත ලබා පසුකාලීනව නිත්‍යා ලෙස සිය සමාජ අනන්‍යතාවය තහවුරු කර ගනිමින් යම් ආකාරයක ජයක් අද වන විට ලබා තිබුණද ඇය ඉදිරියේ තවත් අභියෝග රාශියක් ඇති බව මින් පැහැදිලි වේ. පොදුවේ ගත් කල ලිංගිකත්වය යනු පුද්ගලයකුගේ අතිශය පෞද්ගලික කාරණාවක් වන බැවින් මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල LGBTIQ+ ප්‍රජාව සම්බන්ධ නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමක් කළ නොහැකි වුවත් IPSOS නම් ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් මගින් 2021 දී කළ නියැදි සමීක්ෂණයක් හරහා ගෝලීය වශයෙන් රටක ජනගහනයෙන් සියයට අටක් පමණ සමරිසි ද්විරිසි හෝ පැන්සෙක්ෂුවල් (pansexual) ලෙස හඳුනාගන්නා බව සඳහන් වේ. එමෙන්ම ලෝකයේ ආසන්න වශයෙන් සියයට අසූවක් විෂම ලිංගිකයන් ලෙස හඳුන්වා ගන්නා අතර ලෝකයේ ඉතිරි සියයට දොළහ ඔවුන් හඳුනාගන්නා ආකාරය වාර්තා නොකරන අය බවත් සඳහන්ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකීමේ දී LGBTIQ+ ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට කටයුතු කරන සංවිධාන අතුරින් ඉහළ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන Bridge to Equality සහ Equite Srilanka යන සංවිධාන දෙක මෙරට LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් සාධනීය වැඩ කොටසක් ඉටු කරන අතර Bridge to Equality විසින් LGBTIQ+ ප්‍රජාව සම්බන්ධ වාර්තා පලකිරීමේදි ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකිමින් කටයුතු කිරීම සඳහා මාධ්‍ය මාර්ගෝපදේශයක්ද ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම Bridge to Equality විසින් 2022 අගෝස්තු සිට 2023 මාර්තු දක්වා වන කාලසීමාවට අදාළව LGBTIQ+ ප්‍රජාවේ පුද්ගලයින්ගේ හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව කර ඇති වාර්තාවකට අනුව සිදුවීම් 235 කට අදාළ වන චූදිතයින් ගැන සැලකීමේ දී ඉන් බහුතරයක් නීතිය බලගැන්වීම සඳහා ඇති පොලිසිය සහ මහජනතාවට සේවා සපයන රජයේ නිලධාරීන් බවත් පෙනී යයි.

එමෙන්ම Equite Srilanka සංවිධානයේ පූර්ණ මෙහෙයවීමෙන් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් මෙරට LGBTIQ+ ප්‍රජාව සම්බන්ධව සිදුකල පළමු විද්‍යාත්මක සමීක්ෂණය වූ “ශ්‍රී ලංකාවේ ජීවත් වන LGBTIQ+ ප්‍රජාවේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්” නම් වූ සමීක්ෂණය හරහා අප රට තුළ ජීවත් වන මෙම ප්‍රජාව ගැන ඉතාම වැදගත් කරුණු රාශියක් හෙළිදරව් වී ඇත. එමගින් හෙළිවන ආකාරයට ගෝලීය නව ප්‍රවණතා මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය මත මේ වන විටදී පුද්ගලයින්ගේ සමාජභාවී අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය හේතුවෙන් LGBTIQ+ ප්‍රජාවේ අයවලුන් මෙරට ජන සමාජය තුළ පීඩාවන්ට ලක්වන අවස්ථාවන්වල යම් අඩුවීමක් දක්නට ලැබුණද එය සමීක්ෂණයට ලක් කළ සුළු ප්‍රමාණයකට අදාළව පමණක් වන නිසා යථාර්ථය එයම විය නොහැකිය. කෙසේ වෙතත් මෙරට මුල් බැසගත් පාරම්පරික ආකල්ප හා මතවාද නව ගෝලීය ප්‍රවණතා සමග වෙනස් කිරීමට කාලය එළැඹ ඇති බව නූතන පරපුර අවබෝධ කර ගනිමින් පවතින තත්ත්වය තුළ LGBTIQ+ ප්‍රජාව සම්බන්ධව මෙරට සමාජය වඩා විවෘත ව හා අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් සමාජයේ ජීවත් වන සෑම පුද්ගලයකුටම තම කැමැත්ත අනුව තමන්ගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය දැරීමට මෙන්ම ඒ නිසාවෙන් කිසිදු වෙනස්කමකට ලක් නොවීමේ අයිතිය ඇති බව අප අවබෝධ කරගත යුතුය.

2 thoughts on “නිමල් නිත්‍යා වීම සහ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදිතාවය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *