මේ දිනවල ලෝකයම උණුසුම් කරන පුවත් මවන මැද පෙරදිග යුද්ධය ගැන කතාකරන කොට බොහෝ දෙනෙක් පටලවා ගන්න දෙයක් තමයි මේ රටවල් වල පිහිටීම හා ඔවුන් ගේ රටවල් හඳුන්වන විශේෂිත වචන. බැලූ බැල්මට මේ සියලුම රටවල් එකම කලාපයක, එකම පෙනුමක් ඇති රටවල් ලෙස පෙනුනත් දේශපාලනික, භූගෝලීය සහ සංස්කෘතික වශයෙන් මේවා අතර පැහැදිලි වෙනස්කම් පවතිනවා. බොහෝ දෙනෙක් “ගල්ෆ් රටක්” සහ “අරාබි රටක්” යනු එකක්ම යැයි සිතුවද එහි සැබෑ තත්ත්වය බොහෝ වෙනස්.

  1. ගල්ෆ් කලාපීය රටවල් (Gulf Countries)
    ගල්ෆ් රටවල් ලෙස හඳුන්වන්නේ පර්සියන් ගල්ෆ් (Persian Gulf) මුහුදු තීරයට මායිම්ව පිහිටි රටවල් අටයි. ලෝකයේ තෙල් වෙළඳාමේ හදවත බඳු වූ මෙම මුහුදු තීරය බෙදාගන්නා රටවල් වන්නේ, බහරේන්, ඉරාකය, ඉරානය, කුවේට්, ඕමානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර්.
  2. ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (GCC)
    මෙම ගල්ෆ් කලාපීය රටවල් අටෙන් රටවල් 6ක් එකතු වී 1981 දී විශේෂ සංවිධානයක් පිහිටුවා ගත් අතර එය GCC ලෙස හැඳින්වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී “ගල්ෆ් රටවල්” ලෙස වැඩිපුරම අදහස් කරන්නේ මෙම සාමාජිකයින් හය දෙනායි. එම රටවල් වන්නේ, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කටාර්, බහරේන් සහ ඕමානය.
    මේ රටවල් හයම අරාබි භාෂාව කතා කරන, තෙල් සම්පතින් පොහොසත්, සමාන රාජාණ්ඩු පාලන ක්‍රම සහිත රටවල් වේ. එසේ නමුත් ඉරානය සහ ඉරාකය පර්සියන් ගල්ෆ් මුහුදට මායිම්ව තිබුනත් දේශපාලනික හේතු මත GCC සාමාජිකයින් නොවේ.
  3. මැද පෙරදිග රටවල් (Middle East)
    මැද පෙරදිග යනු සංවිධානයකට වඩා භූගෝලීය කලාපයකි. යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යන මහාද්වීප තුන යා කෙරෙන මධ්‍යස්ථ ස්ථානයක පිහිටා ඇති නිසා මේවාට “මැද පෙරදිග” යන නම ලැබී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් රටවල් 17ක් ඇතුළත් වනවා. බහරේන්, සයිප්‍රසය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඹ්මානය, පලස්තීනය, කටාර්, සවුදි අරාබිය, සිරියාව, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය. මෙහි අරාබි ජාතිකයින් පමණක් නොව පර්සියානු (ඉරානය), තුර්කි (තුර්කිය) සහ යුදෙව් (ඊශ්‍රායලය) යන ජාතීන්ද වාසය කරනවා.
  4. අරාබි රටවල් (Arab World)
    අරාබි රටක් ලෙස හඳුන්වන්නේ භූගෝලීය පිහිටීමට වඩා අරාබි භාෂාව සහ සංස්කෘතිය මත පදනම් වූ රටවල්. මේ කාණ්ඩය ඇතුලේ ගල්ෆ් සාමාජික රටවල්, ගල්ෆ් කලාපීය රටවල් සහ මැද පෙරදිග රටවල් ගනනාවක් මේ “අරාබි රටවල්“ කියන පවුලේ ඉන්නවා. මේ රටවල් ඉතිහාසයේ ඉඳන්ම එකිනෙකට සම්බන්ධ අය. අරාබියානු භාෂාව, අරාබි සංස්කෘතිය, වගේ දේවල් මේ අය අතීතයේ ඉඳන්ම බෙදාගෙන භුක්ති වින්ඳා. මේ අරාබි රටවල් 22 ක් වන, ඇල්ජීරියාව, බහරේනය, කොමරෝස්, ජිබුටි, ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, කුවේට්, ලෙබනන්, ලිබියාව, මොරිටේනියාව, මොරොක්කෝව, ඕමානය, පලස්තීනය, කටාර්, සවුදි අරාබිය, සෝමාලියාව, සුඩානය, සිරියාව, ටියුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය එකතු වී “අරාබි ලීගය” කියන සංවිධානය පටන්ගත්තා 1945 දි. ඊජිප්තුව තමයි මේ වැඩේට මූලිකත්වය ගත්තේ.

මේ අරාබි ලීගය අතර ඉන්න කොමරෝස් වගේ දූපත් රාජ්‍යයක් තියෙන්නෙ මේ අනෙක් රටවලට වඩා ඈතින්. හැබැයි අතීතයේ ඉඳන් අරාබි සංස්කෘතියෙ ළඟ නෑයෙක්. ඒ හින්දා එයත් අරාබි රටක්. ඒ වගේම මෙතන නැති ප්‍රධාන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ දවස්වල අතිශය ප්‍රසිද්ධ “ඉරානය“. මේක අරාබි රටවල් ටික මැද්දෙ ඉන්න අරාබි නොවන රටක්. ඉරානය කියන්නෙ පුරාණ පර්සියාවට. එයාලගේ භාෂාව පර්සියන්. සංස්කෘතිය පර්සියන්. ඉතින් ඉරානය අරාබි රටක් නෙවෙයි.

ඒ වගේම, අරාබි නොවන, හැබැයි අරාබි රටවල් ළඟම තියෙන රටක් තමයි තුර්කිය. මේ අය කතා කරන්නෙ තුර්කි භාෂාව. එයාලගේ සංස්කෘතියත් පුරාණයේ ඉඳන්ම තුර්කි සංස්කෘතිය. අනික් අරාබි නොවන, ළඟම තියෙන තවත් රටක් තමයි ඊශ්‍රායලය. මේකෙ භාෂාව හීබෘෘ. ආගම යුදෙව්. මේ හේතු හින්දා අරාබි රටවල්වලින් වටවෙලා හිටියත්, ඉරානය, තුර්කිය සහ ඊශ්‍රායලය අරාබි රටවල් නෙවෙයි. අරාබි රටක් වෙන්නෙ එකම කලාපයක තිබීමෙන් නෙවෙයි. එකම සංස්කෘතියකට අයත් වීමෙන්.

මේක ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් මේ විදියට,

ගල්ෆ් කලාපය. පර්සියන් ගල්ෆ් මුහුදට මායිම් වීම. ඉරානය, ඉරාකය ඇතුළු රටවල් 8
GCC රටවල්. ගල්ෆ් කලාපයේ අරාබි රාජාණ්ඩු තිබීම. සවුදි අරාබිය, UAE, කුවේට්, කටාර් ඇතුළු රටවල් 6
අරාබි රටවල්. අරාබි භාෂාව සහ සංස්කෘතිය තිබීම. රටවල් 22
මැද පෙරදිග රටවල්. මහාද්වීප 3ක් අතර පිහිටීම. ඊශ්‍රායලය, තුර්කිය ඇතුළු රටවල් 17

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *