මේ දිනවල පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි, ඇතුලු සියලු සමාජ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන විශේෂ දැනුම් දීමකි.

හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි,

මෙම විශේෂ සටහන තබන්නේ මේ දිනවල වක්‍ර ආකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙනි.
පුෂ්පිකා ද සිල්වා වන මම, පසුගිය වර්ෂයේ මේ රටේ පැවති විවාහක රූ රැජින තරගාවලියේ දී විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු පැළඳුවෙමි. ලබන වසරේ මුල ඇමරිකාවේ las vegas නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටිමි.

මෙය, ගරු රෝසි සේනානායක මැතිණිය ශ්‍රී ලංකාවට ගෙන ආ විවාහක රූ රැජින කිරුළ නැවත වරක් අප රටට ගෙන ඒම සඳහා මම ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණු වීම් කරමින් සිටින අවස්ථාවකි. එමෙන්ම එක් දරු මවක් වශයෙන් මගේ දරුවාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමි.

ඒ සියල්ල සිදු කරන අතරේ එමෙන්ම මේ දිනවල පවතින covid 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින්, හැකි උපරිමයෙන් උපකාර කළ හැකි මගේම රටේ ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල නිරත වෙමි. මගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් ගිණුම්වලින් ඔබ ද ඒවා නිරන්තරයෙන් දකිනවා යැයි මා සිතමි.

මම විශේෂයෙන් ඔබට දැනුම් දෙන කරුණ වන්නේ, විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පසු මම සම්පූර්ණයෙන් දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින බව ය. ඒ අනුව මම කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව ඉතා වගකීමෙන් කියා සිටිමි. මගේ විවාහක රූ රැජිණ කිරුළ ලබාගැනීමෙන් පසු අනුග්‍රාහකත්ව කටයුතු සඳහා නොයෙකුත් ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම හැරෙන්නට, සැමවිටම මුලු රටක් නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් මම ඉතා වගකීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමි.

නොයෙකුත් අවස්ථාවල මම සහ මගේ පවුලේ අය සම්බන්ධ කොටගෙන විකෘති කරන ලද කිසිදු සත්‍යතාවයකින් තොර ප්‍රවෘත්ති යම් යම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම සිදු වී ඇත. එමගින් මගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදුවී තිබේ. අන් සියල්ලටම වඩා මට පළමුකොට වැදගත් වන්නේ මාගේ දරුවා වන අතර, මෙවන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම මගින් කරන පීඩනය මටත් මගේ දරුවාටත් කිසිසේත්ම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඒ නිසා මෙවන් ප්‍රකාශයක් මා සම්බන්ධයෙන් සිදු කිරීමට පෙර පෞද්ගලිකව මාගෙන් කරුණු විමසා හෝ එසේ නැත්නම් සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වගබලා ගැනිම ඉතා සාධාරණ බව කාරුණිකව දන්වන බවත් එසේ කරන්නේ නම් එය තවත් අයකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතැයි මම විශ්වාස කරමි.
ස්තුතියි !!!

– පුෂ්පිකා ද සිල්වා
( ශ්‍රී ලාංකික විවාහක රෑ රැජිණ ?? ?)

අපගේ නවතම යු ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර සහයෝගය ලබාදෙන්න.
යු ටියුබ් ලින්ක් එක
https://www.youtube.com/channel/UC9HgPn9aW0bQKOSuhVEmtcg

One thought on “බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම පිලිබදව පුෂ්පිකා ද සිල්වා කල හෙලිදරවුව.”

Leave a Reply to kankota Cancel reply

Your email address will not be published. Required fields are marked *