වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම් සිදු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නියෝග කර ඇත.
මෙම මෙහෙයුම ආරම්භවී ඇත්තේ, හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් විසින් ‘බෝට්ටු මගින් රටට නිති විරෝධී පළිබෝධක නාශක රැගෙන එන බවට සිදුකළ අනාවරණයෙන් පසුවය.

රජය ‘බෝට්ටු කෘෂි රසායන ජාවාරම‘ කරන ගමන් කාබනික වගාව සාර්ථකයි කියනවා.

ඩොලර් නැති ආණ්ඩුව ගොවියාගේ රත්තරං ඉන්දියාවට පටවලා ‘තහනම් බඩු‘ රට පුරා බෙදනකල් බලාගෙන ඉන්නවා  

කාබනික වගාව සාර්ථකයි කියා රටත් ලෝකයත් රවටන රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමකට අනුග්‍රහය ලබා දෙනවා.  ලියාපදිංචි කඩවල්වල කෘෂි රසායනය නෑ.  හැබැයි, මහ ගස් පවා මරණ, පසට ඇසිඩ් ගැහුවා වගේ පිච්චෙන ‘බෝට්ටු බඩු වල් බෙහෙත්‘ ඕනී තරම් තියෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

කාබනික වගාව සාර්ථක යැයි ඔප්පු කිරීමට කිසිදු ප්‍රමිතියක් නැති නීති විරෝධී කෘෂි රසායනය බෝට්ටු මගින් රට තුලට රැගෙන ඒමට රජය ඉඩ දී ඇත. කාබනික වගාව යැයි රටත්-ජාතියත්-ලෝකයත් අන්දවමින් අධි විෂ කෘෂි රසායන මහපොළොවට, පරිසරයට නිදහස් කිරීමට රජය ඉඩ හැර ඇත.

කෘෂි රසායනය හෝ පොහොර ගෙන්වීම සඳහා රජයේ ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන නිසා ලෝකයේ කිසිදු රටක නැති 100% කාබනික සිහින සංකල්පයක් මෙරට පැල කිරීමට රජය උත්සහා දරයි. ලංකාවේ දුප්පත් ගොවියන්ගේ කණකර රත්තරං බඩු ටික බෝට්ටු මගින් ඉන්දියාවට යවා සිදු කරන නීති විරෝධී කෘෂි රසායන ජාවාරම නැවැත්වීමට රජය ක්‍රියා කළ යුතුය.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයයි, කෘෂිකර්ම ඇමතිලයි, නිලධාරි මණ්ඩලයයි, ගොවියාට හිතකර කෘෂිකර්මය හැර අනිත් හැමදේම කරනවා.  නීති විරෝධී වල්, දිලීර හා කෘමිනාශක රට පුරා ජාවාරම්කරුවෝ බෙදා හරිනවා.  කෘෂි රසායන පාලනය සඳහා වගකීම් පැවරී ඇති පළිබෝධක නාශක පාලන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති ආයතනය ඇතුළු කිසිදු ආයතනයක් නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන අලෙවිය, ප්‍රවාහනය හෝ ගබඩා කිරීම් පිළිබඳ සොයන්නේ නෑ. මෙහෙයුම් කරන්නේ නෑ.  

පලිබෝධ නාශක පනත ක්‍රියාත්මක වෙන්නේ රුපියල් පනහක් වැඩි මිලට විකුණන වෙළෙන්දාට විතරයි.  මහා පරිමාන නීති විරෝධී කෘෂි රසායන ජාවාරමක් රටේ සිද්ධ වෙනවා. මන්නාරම, කාත්තන්කුඩි, ත්‍රිකුණාමය, වැලිගම ආශ්‍රිතව ධීවර බෝට්ටුවලින් රට තුලට නීති විරෝධී කෘෂි රසායන රැගෙන එනවා.

ඉන්දියාවෙන්, චීනයෙන් ගේන සමහර කෘෂි රසායන අපේ රටේ තහනම් කළේ දැන් අවුරුදු 15 – 20 කට කලින්.  මේ කාබනික උන්මාදය හැදෙන්න ඉස්සර අපේ රටේ හොඳ පළිබෝධක නාශක පාලනයක් තිබුණා.  දැන් පළිබෝධන නාශක පාලනයක් තියා ප්‍රමිතියක් තියෙන බෙහෙතක් හොයා ගන්න බෑ. හැබැයි රට පුරා ජාවාරම්කාරයෝ රොත්තක් කළු කඩ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා.

රජය නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන හොර පාරවල් වහන්නට වහා පියවර ගත යුතුයි. යනුවෙන් ද දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටින ලදී.

එයට වහා ප්‍රතිචාර දක්වා ඇති පළිබෝධක නාශක රෙජිස්ට්‍රාර් 1980 අංක 33 දරණ පිළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සියළුම බලයලත් නිලධාරීවරුන්, සියලුම නඩු පැවරීමේ නිලධාරි හා නඩු කටයුතු මෙහෙයවීමේ නිලධාරීන් වෙත නඩු පැවරීම සඳහා නියෝග නිකුත් කර ඇත. 

මේ පිළිබඳ කළ විමසීමේ දී කීර්ති තෙන්නකෝන් මහතා පැවසූවේ, ඊයේ (සැප්. 24) හිටි හැටියේ අනුරාධපුර ප්‍රදේශයේ දී රජය තහනම් පළිබෝධනාශක අත්අඩංගුවට ගෙන ඇති බවත් දිගටම මෙම මෙහෙයුම් සිදු විය යුතු බවත් ය.   ”මන්නාරමින් රටට ගෙන එන තහනම් කෘෂි රසායනය වර්ග දෙකක් අල්ලා තියෙනවා. එය යහපත් ක්‍රියාවක්..” තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

By admin

One thought on “කීර්තිගේ අනාවරණයෙන් පසු නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම්.”

Leave a Reply to ජයබංඩාර Cancel reply

Your email address will not be published. Required fields are marked *