කොළඹ ප්‍රධාන බස් නැවතුම රුපියල් මිලියන ගණනක් වියදම් කර නවීකරණය කිරීමෙන් පසුව එය මහජන පරිහරණයට විවෘත කර දිනයක් ගතවෙත්ම වැසිකිලි පද්ධතියේ යම් කොටස් වලට අලාභහානී සිදුකර සහ ඒ අවට අපිරිසිදු කර තිබීම සම්බන්ධයෙන් මේ දිනවල විශාල සමාජ කතාබහක් නිර්මාණය වී ඇත.

බොහෝ දෙනා මෙය දේශපාලන කෝනයකින් බලමින් ආණ්ඩු හිතවාදීන් මෙය විපක්ෂ ආධාරකරුවන්ගේ සංවිධානාත්මක කටයුත්තක් බවට හුවා දක්වන අතරම විපක්ෂ කණ්ඩායම් පවසන්නේ මෙය ආණ්ඩුවේම පිරිස්වල සැලසුම්සහගත මඩ ව්‍යාපාරයක තවත් එක් පියවරක් බවයි. කවුරුන් කා හට චෝදනා කලත් සිදුව ඇති දේ ශිෂ්ඨ සම්පන්න සමාජයක පුරවැසියන් කිසි ලෙසකත් අනුමත නොකරන බව නම් පැහැදිලිය.

මෙම සිදුවීම ගැන අප මෙයට වඩා ගැඹුරින් බැලිය යුත්තේ මෙය තුලින් පිළිඹිබු වන්නේ මෙරට සමාජය තුල ජීවත්වන ජනතාවගේ හැසිරීම, ආකල්ප, දැනුවත්බව හා සමාජ තත්වයයි. අප රට මේ සිටින තත්වයෙන් තරමක් හෝ ඉහලට ගෙන යාමට කෙතරම් නම් අපහසුද යන්න තේරුම් ගැනීමට මෙම සිදුවීම උවත් ප්‍රමාණවත්ය.

බොහෝ දෙනා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙයට සම්බන්ධ අයට චෝදනා කරමින් අදහස් දක්වන අතර ඇත්ත වශයෙන්ම අප කල්පනා කලයුත්තේ මෙම පහසුකම් භුක්තිවිඳින ජනතාව කුමන ආකාරයේ සමාජ වටපිටාවන්ගෙන් එන පිරිස්ද යන්නයි. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න නාගරික ප්‍රදේශවල ජීවත්වන බහුතරයක් ඉහල පාන්තිකයන් සහ ඉහල මධ්‍යම පාන්තික ජනතාව සිය ප්‍රවාහන කටයුතු සඳහා වැඩිපුරම භාවිතා කරන්නේ පෞද්ගලික රථවාහනය. ඉන් පසුව නාගරික මධ්‍යම පාන්තික ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කලද ඔවුන් වැඩි දෙනෙකු බොහෝ විට නවීන උපාංග භාවිතය ගැන දැනීමක් ඇති පිරිස් වේ. නමුත් අවාසනාවකට තවමත් ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල අහිංසක ගැමි ජනතාව බොහෝවිට මෙවැනි උපාංග වල ක්‍රියාකාරීත්වය සි‍යැසින් දකින පළමු අවස්ථාවත් මෙය විය හැකියි. එවන් පිරිස් අතින් නොදැනුවත් කම නිසාම මෙවැනි දේට හානි සිදුවිය හැක.

එමෙන්ම, කොළඹ අවට ජීවත්වන නිසි සමාජ වටපිටාවක් හෝ අධ්‍යාපනයක් නොලද අතිවිශාල ජනතාවක්ද දිනපතා මෙම ස්ථාන පරිහරනය කරනු ඇත. ඔවුන් කොපමණ දැනුවත් කලද යහපත් ගති ඇතිකල නොහැක. ඒ බව පැයක් දෙකක් කොළඹ අවට කරක් ගැසූ විට දැකගත හැක. ඔවුන් ඇත්තෙන්ම ලෝක කරුමයට උපන් ජීවී කොට්ඨාශයක් වේ. මොවුන් සිතන්නේ අනිකාට කුමක් වුවත් තමන්ගේ වැඩය කර ගැනීම ගැන පමණකි.

අනික් කොටස නම් උගත්කම දැනුවත් කම තිබුනා හෝ නැතා මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින පිරිසයි. මොවුන්ද යහපත් සමාජයකට විශාල පිළිලයක්ය. ඔවුන්ද මෙවැනි දේ අපවිත්‍රකර විනාශ කර දමන්නේ ඒවා සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු හැඟීමක් නොමැති නිසාවෙනි.

මේ නිසාවෙන් අප රටක් සමාජයක් ලෙස ඉදිරියට යාමට නම් යහපත් ගතිසිරිත් පාසල්වලින් පුරුදු පුහුණු කිරීමෙන් පමණක් නොනැවතී සමාජය තුල එවැනි යහපත් සිරිත් අනුගමනය නොකරණ අයට ප්‍රසිද්ධියේ දඬුවම් පැමිණවීමක් ද කල යුතුයි. ඒ සමගම නූගත් වැඩිහිටියන් දැනුවත් වන ආකාරයේ දැනුවත් කිරීමේ සටහන් මෙවැනි ස්ථාන ආශ්‍රිතව ප්‍රදර්ශනය කිරීමද කලයුතුයි. මෙවැනි පියවරයන් වසර කිහිපයක් අඛන්ඩව කිරීමෙන් ඒවා සමාජ පුරුදු බවට පත් කිරීමට හැකිවූ විටදී පමණක් මෙවැනි දේ නවතිනු ඇති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *