ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරට යුද හමුදා ප්‍රධානියා (Chief of Army) ලෙස ප්‍රථම වතාවට කාන්තාවක පත් කර තිබේ. ඒ අනුව වසර 30කට අධික සේවා කාලයක් සපුරා ඇති ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් (Susan Coyle) ලබන ජූලි මාසයේ සිට මෙම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් විසින් පසුගිය සඳුදා මෙම නව පත්වීම් ප්‍රකාශයට පත් කරන ලදී.

වර්තමානයේ ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ ප්‍රධානියා (Chief of Joint Capabilities) ලෙස කටයුතු කරන සුසාන් කොයිල්, ඕස්ට්‍රේලියානු හමුදාවක ප්‍රධානියා ලෙස පත් වූ පළමු කාන්තාව වේ. ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මෙම පත්වීම හඳුන්වනු ලැබුවේ ආරක්ෂක අංශවල සේවය කරන සහ සේවයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම කාන්තාවන් උදෙසා වූ “ඉතා ගැඹුරු ඓතිහාසික මොහොතක්” ලෙසයි.

1987 දී යුද හමුදා ස්වේච්ඡා බලකායට එක් වූ ඇය, ඇෆ්ගනිස්ථානය, නැගෙනහිර ටිමෝරය සහ සොලමන් දූපත් වල හමුදා මෙහෙයුම් සඳහා නායකත්වය දී ඇති අත්දැකීම් බහුල නිලධාරිනියකි.

යුද හමුදා ප්‍රධානියාට අමතරව, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ (ADF) සමස්ත ප්‍රධානියා ලෙස වර්තමාන නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් මාර්ක් හැමන්ඩ් (Mark Hammond) පත් කර ඇත. ඔහු විශ්‍රාම යන අද්මිරාල් ඩේවිඩ් ජොන්ස්ටන් වෙනුවට එම ධුරයට පත් වේ.
නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් හැමන්ඩ්ගේ පත්වීමත් සමඟ පුරප්පාඩු වන නාවික හමුදා ප්‍රධානී ධුරය සඳහා රියර් අද්මිරාල් මැතිව් බක්ලි පත් කර තිබේ.
සබ්මැරීන් මෙහෙයුම් පිළිබඳ මනා පළපුරුද්දක් ඇති හැමන්ඩ්ගේ පත්වීම, AUKUS ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක උපායමාර්ගික කටයුතු සඳහා ඉතා වැදගත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

මෙම පත්වීම් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ඇල්බනීස් මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳවද අදහස් දැක්වීය. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සම්බන්ධයෙන් පවතින උණුසුම්කාරී තත්ත්වයට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්, ලෝක ආර්ථිකයට මෙහි බලපෑම අවම විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මෙම පත්වීම් සිදු කෙරුණේ ඕස්ට්‍රේලියානු රජය සිය 2026 ආරක්ෂක උපායමාර්ගික ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *