Post Views: 163 (ගවේශණාත්මක වාර්තාකරණය කමල් සිරිවර්ධන විසිනි): ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස තේ සහ රබර් වගාවන් හරහා විදේශ විනිමය උපයමින් මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දක්වන මලයගම් (වතුකරයේ) දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර 200 කට අධික කාලයක් ගතවී ඇත. එහෙත්, පරම්පරා හතරක හෝ පහක කාලයක් තිස්සේ මෙම බිම මත දහඩිය, කඳුළ සහ ලේ හෙලූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අදටත් තමන් ජීවත්වන බිම් අඟලකට පවා නිත්‍යානුකූල අයිතියක් හිමි නොවීම ඛේදවාචකයකි. වතුකරයේ ජීවත්වන ජනතාව අතුරින් බහුතරයක් තවමත් ජීවත්වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඉදිකරන ලද, අවම මානුෂීය පහසුකම් සහිත අඩි 10×12 ප්‍රමාණයේ “ලැයින් කාමර” (Line Rooms) තුළය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා සමාජීය ක්ෂේත්‍රයන්ට ලබාදුන් අතිමහත් දායකත්වය හමුවේ වුවද, ඉඩම් අයිතිය (Land Ownership) සහ ස්ථිර නිවාස අයිතිය (Housing Rights) සම්බන්ධයෙන් මලයගම් ප්‍රජාව මුහුණදෙන ඓතිහාසික අසාධාරණය වර්තමානය වන විට බරපතල මානව හිමිකම් සහ සමාජ-ආර්ථික අර්බුදයක් බවට පත්ව තිබේ. ඓතිහාසික විකාශනය සහ අයිතිවාසිකම් අහිමි වීම මලයගම් ප්‍රජාවගේ ඉඩම් නොමැතිකමේ අර්බුදය තේරුම් ගැනීමට නම් එහි ඓතිහාසික විකාශනය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 1820 ගණන්වලදී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නියඟයෙන් සහ කුල පීඩනයෙන් පීඩිතව සිටි ජනතාව කෝපි සහ පසුව තේ වගාව සඳහා ලංකාවට ගෙන එනු ලැබීය. ඒ වන විට ඔවුන්ට පොරොන්දු වූයේ ස්ථිර ජීවනෝපායක් සහ වාසස්ථානයි. නමුත් ඔවුන්ව පදිංචි කරවන ලද්දේ වතු හිමියාගේ පූර්ණ පාලනය යටතේ පැවති තාවකාලික ජනාවාස හෙවත් ලැයින් කාමරවලය. 1948 දී මෙරටට නිදහස ලැබීමත් සමඟම එවකට පැවති රජය විසින් සම්මත කරන ලද 1948 අංක 18 දරන ලංකා පුරවැසි පනත (Ceylon Citizenship Act) මගින් මලයගම් දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ පුරවැසිභාවය අහෝසි කරන ලදී. ඉන් අනතුරුව සම්මත වූ 1949 අංක 3 දරන ඉන්දියානු සහ පාකිස්ථානු වැසියන්ගේ (ලංකා පුරවැසිභාවය පිළිබඳ) පනත මගින් අටලක්ෂයකට අධික ජනතාවක් රාජ්‍යයක් නොමැති (Stateless) තත්ත්වයට පත් විය. පුරවැසිභාවය අහිමි වීමත් සමඟම, ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද 1935 ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රජයේ ඉඩම් ලබාගැනීමට හෝ ගොවි ජනාවාස යෝජනාක්‍රම යටතේ ඉඩම් අයිතිය ලබාගැනීමට මලයගම් ප්‍රජාවට තිබූ නෛතික ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරී ගියේය. ඒ සමඟම 1964 දී අත්සන් කරන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම සහ 1974 සිරිමා – ඉන්දිරා ගිවිසුම හරහා වතුකරයේ විශාල පිරිසක් නැවත ඉන්දියාවට පිටුවහල් කරන ලද අතර, ඉතිරි වූ පිරිසට වරින් වර පුරවැසිභාවය ලබාදීම යම් තරමක හෝ සහනදායි තත්වයක් විය. නමුත්, පුරවැසිභාවය නීතිමය වශයෙන් හිමිවුවද, ඉඩම් හිමිකම පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැත. 1970 දශකයේ මුල් භාගයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා වතු ඉඩම් රජයට පවරා ගත් අතර, 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ක්‍රියාත්මක වූ වකවානුවේදී මලයගම් ප්‍රදේශවල වෙසෙන පවුලකට පර්චස් 20 ක ඉඩමක් ලබා දීමට ප්‍රතිපත්තිමය යෝජනා පැවතියද එය ක්‍රියාත්මක නොවූ බව මූලාශ්‍ර සඳහන් කරයි. පසුව 1975-1980 කාලය තුළ මෙම ඉඩම් ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ ශ්‍රී ලංකා වතු වගා සංස්ථාව (SLSPC) වැනි රජයේ ආයතන වෙත පවරන ලදී. ලැයින් කාමර පද්ධතිය සහ ජීවන තත්ත්වය වතුකරයේ ජනතාව මුහුණදෙන ප්‍රධානතම භෞතික සහ සමාජීය අභියෝගය වන්නේ ලැයින් කාමර ක්‍රමයයි. යටත්විජිත යුගයේ ඉදිකරන ලද මෙම ලැයින් කාමර, එකිනෙකට බද්ධ වූ කුඩා කාමර පේළිවලින් සමන්විත වේ. මෙම එක් ලැයින් කාමරයක් බොහෝ විට අඩි 10×12 ප්‍රමාණයේ වන අතර එම කුඩා කාමරයක පවුලේ සාමාජිකයින් 6 සිට 10 දක්වා ප්‍රමාණයක් ජීවත් වෙති. විවිධ වයස් සීමාවල සහ විවිධ කායික මානසික හැඟීම් සහිත පිරිසක් මෙසේ කුඩා ඉඩකඩක් බෙදාගෙන ජීවත්වීම තුළ ඔවුන්ගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම අහිමි වේ. ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැතිකම, තෙතමනය සහ පැරණි වහලවල් හේතුවෙන් ශ්වසනබාධ, චර්ම රෝග සහ බෝවන රෝග පැතිරීමේ ඉහළ ප්‍රවණතාවක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වී තිබේ. එමෙන්ම, බොහෝ ලැයින් පේළි සඳහා තවමත් පවතින්නේ පවුල් කිහිපයකට එකක් බැගින් වන පොදු වැසිකිළි පහසුකම්ය. මෙය කාන්තාවන්ගේ සහ දැරියන්ගේ ආරක්ෂාවට මෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සනීපාරක්ෂාවට ද දැඩි තර්ජනයකි. කණගාටුදායක නමුත් සත්‍ය තත්ත්වය නම් මෙරට ඕනෑම පුරවැසියෙකුට තමන්ගේම කියා තැපැල් ලිපිනයක් පැවතියද, වතුකරයේ ලැයින් කාමරවල ජීවත්වන ජනතාවට එවන් ලිපිනයක් පවා නැත. බොහෝවිට ඔවුන්ගේ ලිපිනය වන්නේ එක්කෝ ඔවුන් රැඳී සිටින වතු සමාගම් කාර්යාලයේ ලිපිනය නැතිනම් කාමර අංකය, ලැයින් පේළිය සහ අදාළ වත්තේ නමයි. රජයේ යම් නිල ලේඛනයක හෝ රාජ්‍ය ආයතනයක ලියාපදිංචි වීමේදී මෙම තත්ත්වය ඔවුන්ව පරිපාලනමය වශයෙන් බරපතල ලෙස හුදකලා කරයි. පරිපාලනමය බාධා සහ සමාජ-ආර්ථික පීඩනය ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පවතින ගම්මාන සහ වතුකරයේ ජනාවාස අතර පවතින ප්‍රධාන වෙනස වන්නේ පරිපාලනමය අධිකාරියයි (Administrative Authority). ප්‍රාදේශීය සභා පනතට අනුව, ප්‍රාදේශීය සභාවලට වතු සමාගම් (Regional Plantation Companies – RPCs) යටතේ පවතින ඉඩම් තුළ මහජන මුදල් ප්‍රතිපාදන යොදවා යටිතල පහසුකම් (මාර්ග, වීදි ලාම්පු, ජල යෝජනා ක්‍රම) සංවර්ධනය කිරීමට නීතිමය බාධා පවතියි. වතු ඉඩම් පෞද්ගලික හෝ රාජ්‍ය වතු සමාගම්වලට අයත් බැවින්, ඒවා “පෞද්ගලික දේපළ” ලෙස සලකනු ලැබීම ඊට හේතුවයි. එමෙන්ම, රාජ්‍ය ආයතනවල නොදැනුවත්කම නිසා සිදු කළ ග්‍රාම නිලධාරී වසම් බෙදීම තුළින්ද අර්බුදය තවත් උග්‍ර වී ඇත. වතුකරයේ විශාල ජනගහනයක් ජීවත් වුවද, ග්‍රාම නිලධාරී වසම් සීමා නිර්ණය කිරීමේදී වතු ජනාවාස නිසි පරිදි ගම්මාන ලෙස නීතිගත කර නොමැත. අනෙකුත් ප්‍රදේශවල ජනතාවට මෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදෙන ඉඩම් සංවර්ධන අනුග්‍රහයන් හෝ ඉඩම් ඔප්පු ලබාගැනීමේ හැකියාවක් වතුකරයේ ප්‍රජාවට නොමැති නිසා ඉඩම් අයිතිය අහිමිවීමෙන් සමාජ-ආර්ථික ගැටලු ගණනාවක් ජනනය වේ. ඉඩම් අයිතිය යනු හුදෙක් පස් අඟලක අයිතිය පමණක් නොවේ. එය පුද්ගලයෙකුගේ ආර්ථික නිදහස, සමාජයීය ගෞරවය සහ අනාගත ආයෝජනයන් සඳහා වන මූලික පදනමයි. සින්නක්කර ඔප්පුවක් නැතිකම නිසා වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පුද්ගලික අවශ්‍යතාවයකට ඇපයක් ලෙස තැබීමට ඉඩම් ඔප්පුවක් (Title Deed) නොමැති බැවින්, ඔවුන්ට විධිමත් බැංකු පද්ධතියෙන් ණය ලබාගැනීමට නොහැක. එහි ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී පොලීකාරයින්ට සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අධික පොලී අනුපාතවලට ගොදුරු වීමට සිදුවීම මොවුන්ගේ ජීවන තත්ත්වය තවත් පහතට ඇද දමා ඇත. එමෙන්ම වතු නිවාසවල ජීවත්වන ජනතාව මුහුණ දෙන තවත් අවාසනාවන්ත තත්ත්වයක් නම් ඔවුන්ට වතු නිවාසයක පදිංචිවීමට අවකාශ ලැබෙන්නේ අදාළ වත්තේ සේවය කරන තාක් කල් පමණක් වීමයි. බොහෝ අවස්ථාවල වතු පාලනාධිකාරියට එරෙහි වන හෝ සේවය අහිමි වන කම්කරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 427 සහ 433 වගන්ති යටතේ ‘අපරාධමය අනවසර ඇතුළුවීම’ (Criminal Trespass) යන චෝදනාව එල්ල කර ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. වර්තමාන මලයගම් තරුණ පරම්පරාව අධ්‍යාපනික වශයෙන් ඉදිරියට පැමිණ සිටියද, ඔවුන්ට පවා නිසි වාසස්ථානයක් හෝ ඉඩම් හිමිකමක් නොමැතිකම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටිති. මෙය ඔවුන් නගරාශ්‍රිත අවධි-සේවා (Informal service sector) රැකියාවලට හෝ අවපහසුකමැති නාගරික ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමට හේතුවක් බවට පත්ව ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති සහ වත්මන් තත්ත්වය විවිධ ආණ්ඩු විසින් වතුකරයේ ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීම සඳහා කාලයෙන් කාලයට යෝජනා ක්‍රම සහ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර ඇතත්, ඒවායේ ප්‍රායෝගික ප්‍රගතිය පවතින්නේ ඉතා මන්දගාමී මට්ටමකය. 2015-2019 කාලසීමාව තුළ සහ ඊට පෙර පැවති රජයන් විසින් වතුකරයේ එක් පවුලකට පර්චස් 7 ක් හෝ පර්චස් 10 ක ඉඩම් කැබැල්ලක් බැගින් ලබාදී, එහි ස්ථිර නිවාස ඉදිකර දීමේ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22 වගන්තිය යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට උත්සාහ කර ඇත. එසේම 2018 අංක 32 දරන පනත මගින් නව ගම්මාන සංවර්ධන අධිකාරියක් පිහිටුවා ඇති නමුත්, වතු නිවාසවල පවතින ලිපින ගැටලුව සහ යටිතල පහසුකම් ප්‍රාදේශීය සභා හරහා ලබා ගැනීමේ නීතිමය බාධා තවමත් සම්පූර්ණයෙන් විසඳී නොමැත. මේ තත්ත්වයට සහනයක් ලබාදීමේ අරමුණින් ඉන්දීය රජයේ මූල්‍ය හා තාක්ෂණික ආධාර යටතේ වතුකරයේ ප්‍රදේශ රැසක (නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර) තනි නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ විය. නමුත් නිවාස ඉදිකර දුන්නද, එම ඉඩම් සඳහා නිසි සින්නක්කර ඔප්පු (Freehold Title Deeds) ලබාදීමට රජය සහ වතු සමාගම් අතර පවතින නීතිමය ගැටලු නිසා තවමත් හැකිවී නැත. බොහෝ දෙනෙකුට ලැබී ඇත්තේ කොන්දේසි සහිත බලපත්‍ර හෝ ලිපි ලේඛන පමණි. දේශගුණික අවදානම සහ “නාම් 200” ව්‍යාපාරය මලයගම් ප්‍රජාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නය තවත් උග්‍ර කරන්නේ දේශගුණික විපර්යාස සහ ස්වාභාවික ආපදා විසිනි. මධ්‍යම කඳුකරය (Central Highlands) තුළ පිහිටි වතුකරයේ ජනාවාස බොහොමයක් නායයාමේ අධික අවදානම් සහිත කලාප ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් හඳුනාගෙන ඇත. මෑත ඉතිහාසයේ සිදුවූ අරනායක, මීරියබැද්ද (කොස්ලන්ද) සහ නුවරඑළිය ප්‍රදේශවල නායයාම්වලින් ජීවිත හා දේපළ අහිමි වූ බහුතරය වතුකරයේ ලැයින් කාමරවල ජීවත් වූ ජනතාවයි. නායයාම් අවදානම හේතුවෙන් ඉවත් වන ලෙස රජය දැනුම් දුන්නද, යෑමට වෙනත් ඉඩමක් හෝ නිවසක් නොමැති කමින් අවදානමද කරපින්නාගෙන නැවතත් එම අබලන් ලැයින් කාමරවලම ජීවත් වීමට ඔවුන්ට සිදුවී ඇත. ආසන්නතම කාල වකවානුවේ සිදුවූ දිට්වා සුළිකුණාටුව නිසාත් වතු ආශ්‍රිත ජනතාව බරපතල ලෙස පීඬාවට පත්වුවත් රටේ අනිකුත් ප්‍රජාවට සහන ලබාදුන් ආකාරයට ඔවුන්ට සහන ලබානොදීම සම්බන්ධයෙන් ඇතිවූ කතිකාවත නිසාම ඒ වෙනුවෙන් යලිත් ගැසට් නිවේදනයක් නිකුත් කර ආපදා සහන සේවා ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවිය. එහෙත් එමගින් පවා තත්වය සම්පූර්ණයෙන් නොවිසඳුනි. පසුගිය 2023 වසරට මලයගම් ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරුණු අතර, මේ නිමිත්තෙන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ ප්‍රජා නායකයින් එක්ව “නාම් 200” (අපි 200) නමින් ප්‍රබල අයිතිවාසිකම් ව්‍යාපාරයක් සහ පාගමනක් (තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා) සංවිධානය කළහ. මෙම පාගමන අවසානයේ නිකුත් කරන ලද ප්‍රකාශනය මගින් ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරන ලදී: මලයගම් ප්‍රජාව සඳහාම වෙන්වූ, ඔවුන්ගේ පරම්පරාගත වාසස්ථාන සුරක්ෂිත කරන ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම.වතු ජනාවාස “වතු” ලෙස නොව, රාජ්‍ය යාන්ත්‍රණයට අයත් නිල “ගම්මාන” (Villages) ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ග්‍රාම නිලධාරී වසම් නැවත සීමා නිර්ණය කිරීම.දැනට ලබාදී ඇති හෝ ඉදිකරන නිවාස සඳහා පූර්ණ නිදහස් සින්නක්කර ඔප්පු හිමිකම (Freehold Ownership) ලබාදීම.ජීවනෝපාය සංවර්ධනය සඳහා එක් පවුලකට වගා කළ හැකි කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක් වෙන්කර දීම. මලයගම් ජනතාවගේ අනාගතය උදෙසා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය. ඉඩම් සහ නිවාස අයිතිය යනු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ පිළිගත් මූලික අයිතිවාසිකමක් වන අතර, ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකට අනුවද මලයගම් ප්‍රජාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට රජය බැඳී සිටී. විශේෂයෙන්ම, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICESCR) 11(1) වගන්තිය මගින් “ප්‍රමාණවත් ජීවන මට්ටමක් සඳහා වන අයිතිය” ඇතුළත්ව, ප්‍රමාණවත් නිවාස සහ ජීවන තත්ත්වයක් සඳහා සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය පිළිගෙන ඇත. වතුකරයේ ලැයින් කාමර පද්ධතිය මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට මුළුමනින්ම පටහැනිය. මේ නිසාවෙන්, මලයගම් ප්‍රජාවගේ ඉඩම් සහ නිවාස අර්බුදයට විසඳුම් සෙවීම යනු හුදෙක් දේශපාලන පොරොන්දුවක් ඉටුකිරීමක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය උදෙසා කෙරෙන අත්‍යවශ්‍ය ආයෝජනයකි. ඒ සඳහා වහාම කළ යුතු ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික පියවරයන් කිහිපයකි: වතු ඉඩම් රජයට පවරාගෙන සින්නක්කර ඔප්පු ලබා දීම.වතු ජනාවාස නිල “ගම්මාන” ලෙස ප්‍රකාශයට පත්කිරීම.ප්‍රාදේශීය සභා මගින් සෘජු සංවර්ධන ප්‍රතිපාදන වෙන්කිරීම.ගෙවතු වගා සහ සුළු අපනයන බෝග සඳහා ඉඩම් වෙන්කිරීම. ශ්‍රී ලංකාව දෙසියවසක තේ වගාවේ ඉතිහාසය සහ ආර්ථික ජයග්‍රහණ අභිමානයෙන් සමරන විට, එම අභිමානයේ නියමුවා වූ මලයගම් ප්‍රජාව තවමත් “තමන්ගේම කියා බිම් අඟලක් නැති” අනාරක්ෂිත පිරිසක් ලෙස අතහැර දමා තිබීම ජාතික අභාග්‍යයකි. ලැයින් කාමරයක අඳුරු මුල්ලක පරම්පරා ගණනාවක් තිස්සේ මිරිකී සිටින මලයගම් දෙමළ ජනතාව ඉල්ලන්නේ අනුකම්පාව හෝ සහන නොවේ; ඔවුන් ඉල්ලන්නේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ සම අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය “ජනාවාසයක සහ ඉඩමක හිමිකම” පමණි. ඉඩම් අයිතිය යනු හුදෙක් ආර්ථික සාධකයක් පමණක් නොව, එය මනුෂ්‍ය ගෞරවය, පෞද්ගලිකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පිළිබඳ අයිතියයි. වසර 200 ක ඓතිහාසික අසාධාරණය නිවැරදි කරමින්, මලයගම් ප්‍රජාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම ශ්‍රී ලංකාව හමුවේ ඇති මගහැරිය නොහැකි, කල්දැමිය නොහැකි ජාතික සහ මානුෂීය වගකීමකි. Post navigation රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට