Post Views: 311 ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 160 ක ධාරිතාවකින් සහ මෙගාවොට් පැය 640 ක බලශක්ති ගබඩා හැකියාවකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සහ මෙගාවොට් පැය 40 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම අද (18) පෙරවරුවේ සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදු වූ අතර, මෙය මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීමේ වැඩපිළිවෙළේ වැදගත් පියවරක් ලෙස සැලකේ. බැටරි බලශක්ති ගබඩා පද්ධති මඟින් දිවා කාලයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති උත්පාදනය ඉහළ මට්ටමක පවතින අවස්ථාවල නිපදවන අතිරික්ත විදුලිය ගබඩා කර තබාගත හැකිය. එම ගබඩා කළ විදුලිය රාත්‍රී කාලයේ හෝ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවල ජාතික විදුලිබල පද්ධතියට නැවත මුදා හැරීමට හැකියාව පවතී.ඒ අනුව, විදුලි ඉල්ලුම සහ සැපයුම අතර සමතුලිතතාව පවත්වා ගැනීමට මෙන්ම පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් නිපදවන විදුලිය වඩාත් කාර්යක්ෂමව ජාතික පද්ධතියට එක් කිරීමට මෙම තාක්ෂණය උපකාරී වේ. රජයේ බලශක්ති ප්‍රතිපත්තිය යටතේ වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර භාවිත කරමින් පිරිසිදු විදුලිබල ජනනය ඉහළ නැංවීම අරමුණු කර ඇත.එමෙන්ම අඩු ජනන පිරිවැයක් යටතේ විදුලිය නිපදවා ජනතාවට සාධාරණ මිලකට විදුලිය සැපයීමත්, කාර්යක්ෂම, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීමත් මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු අතර වේ. මෙවැනි බලශක්ති ගබඩා පද්ධති හඳුන්වාදීම මඟින් සූර්ය හා සුළං වැනි විචල්‍ය පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් ලැබෙන විදුලිය වඩාත් ස්ථාවරව ජාතික විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ ස්ටෝර්එක්ස් (Storex) පෞද්ගලික සමාගම, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා විසින් ස්තූතිය පළ කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම සහ බලශක්ති ගබඩා තාක්ෂණය විදුලිබල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම හරහා අනාගතයේදී වඩාත් පිරිසිදු හා ස්ථාවර විදුලිබල පද්ධතියක් ගොඩනැගීම සඳහා මෙවැනි ව්‍යාපෘති වැදගත් වනු ඇත. Post navigation කාර්මික ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්ති මාරුව තුලින් බල ගැන්වෙන හරිත බලශක්තිය.