ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල ආකෘතියෙන් වෙනස් වූ සුවිශේෂී භූමිකාවක් ඉටු කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (The Open University of Sri Lanka – OUSL) හඳුනාගත හැකිය.

1980 දී විවෘත හා දුරස්ථ අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වූ OUSL හි මූලික අරමුණක් වූයේ ශ්‍රී ලාංකිකයන්ට ජීවිතයේ විවිධ අවස්ථාවලදී උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට සාධාරණ අවස්ථා පුළුල් කිරීමයි. විශ්වවිද්‍යාලයේ නිල තොරතුරු අනුව, එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන අතර, සහතික මට්ටමේ සිට ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, MPhil සහ ආචාර්ය උපාධි මට්ටම දක්වා අධ්‍යයන අවස්ථා ලබා දෙයි.

සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක මෙන් සෑම දිනකම නියමිත වේලාවකට පන්තිවලට සහභාගි වීම වෙනුවට, OUSL හි විවෘත හා දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදය හරහා තම පෞද්ගලික හා වෘත්තීය වගකීම් සමඟ අධ්‍යාපනය සම්බන්ධ කරගැනීමට ඉගෙනුම්කරුවන්ට අවස්ථාව ලැබේ. මේ හේතුවෙන් රැකියාවක නිරත පුද්ගලයන්, පවුල් වගකීම් ඇති වැඩිහිටියන්, සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයකට දිනපතා ගමන් කිරීම අපහසු පුද්ගලයන් මෙන්ම දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිටින ඉගෙනුම්කරුවන් සඳහාද OUSL වැදගත් අධ්‍යාපන මාර්ගයක් බවට පත්ව තිබේ.

OUSL හි වත්මන් නිල වෙබ් අඩවිය අනුව, විශ්වවිද්‍යාලය මේ වනවිට 40,000කට අධික ඉගෙනුම්කරුවන් පිරිසකට අධ්‍යාපන අවස්ථා සපයයි.

මෙම පිරිසට විවිධ අධ්‍යයන ක්ෂේත්‍රවල ඉගෙනුම්කරුවන් මෙන්ම රැකියා කරන වෘත්තිකයන් සහ දුරබැහැර ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් ඇතුළත් වේ. OUSL සිය නිල හඳුන්වාදීමේ තොරතුරුවල විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස “study while working” හෙවත් රැකියාව කරන අතරතුර අධ්‍යාපනය හැදෑරීමේ හැකියාවද අවධාරණය කරයි. මෙය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රවේශය පිළිබඳ වැදගත් කරුණකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම ආරම්භ කළ යුතු දෙයක් පමණක් නොවන අතර, වෘත්තීය ජීවිතය තුළදී හෝ ජීවිතයේ පසුවන අවස්ථාවකදීද නැවත අධ්‍යාපනයට පිවිසිය හැකි බව OUSL ආකෘතිය මගින් ප්‍රායෝගිකව පෙන්වා දෙයි. එමගින් වයස් සීමාවකින් තොර අධ්‍යාපන ප්‍රවේශයක් ලබාගැනීම සදහා OUSL හි නිල වෙබ් අඩවිය විශ්වවිද්‍යාලයේ විශේෂ ලක්ෂණයක් ලෙස “No age barrier” යන කරුණ ඉදිරිපත් කරයි. සාම්ප්‍රදායික උසස් අධ්‍යාපන මාර්ගවලට සම්බන්ධ වීමට නොහැකි වූ හෝ තම අධ්‍යාපනය පසුව නැවත ආරම්භ කිරීමට කැමති පුද්ගලයන්ටද විවිධ මට්ටම්වලින් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට මාර්ග මේ හරහා සකස් කර ඇත.

වැදගත්ම දේ නම් විශ්වවිද්‍යාලයේ අරමුණ හුදෙක් උපාධි ලබාදීමකට සීමා නොවන අතර, ජීවිත කාලය පුරා ඉගෙනීම (Lifelong Learning) ප්‍රවර්ධනය කිරීමද එහි අධ්‍යාපන දර්ශනයේ වැදගත් අංගයකි. ඒ සදහා විශ්වවිද්‍යාලය විසින් අධ්‍යයන වැඩසටහන් 140 කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යන බව OUSL හි වත්මන් නිල වෙබ් අඩවිය පෙනී යයි. මෙම වැඩසටහන් විවිධ අධ්‍යයන හා වෘත්තීය ක්ෂේත්‍ර ආවරණය කරයි. ව්‍යාපාර හා කළමනාකරණය, අධ්‍යාපනය, ඉංජිනේරු තාක්ෂණය, සෞඛ්‍ය විද්‍යාව, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව, ස්වාභාවික විද්‍යාව ඇතුළු පුළුල් පරාසයක විෂයයන් සඳහා මේ යටතේ අධ්‍යයන අවස්ථා පවතී.
ඒ අනුව, OUSL එකම විෂය ක්ෂේත්‍රයකට සීමා වූ ආයතනයක් නොව, විවිධ වෘත්තීය අරමුණු සහ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා වැඩසටහන් සපයන පුළුල් රාජ්‍ය විශ්වවිද්‍යාලයකි.

OUSL හි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ අධ්‍යාපන මට්ටම් කිහිපයක් එකම විශ්වවිද්‍යාල පද්ධතියක් තුළ සම්බන්ධ කිරීමයි. දැනට පවතින වැඩසටහන් අනුව, විශ්වවිද්‍යාලය Certificate, Diploma, Degree, Master’s, Master of Philosophy සහ Doctoral මට්ටම් දක්වා අධ්‍යයන පාඨමාලා පවත්වාගෙන යයි. එමඟින් අධ්‍යාපනයේ එක් අදියරකින් තවත් අදියරකට ගමන් කිරීමට ඉගෙනුම්කරුවන්ට මාර්ගයක් සකස් වේ. එය “එක් වරක් උපාධියක් ලබා ගැනීම” යන සම්ප්‍රදායික අදහසට වඩා පුළුල් අධ්‍යාපනික සංකල්පයක් වන අතර, වෘත්තීය ජීවිතය සමඟ සම්බන්ධ කරගනිමින් දැනුම අඛණ්ඩව යාවත්කාලීන කර ගැනීමට ඉඩ සලසන ආකෘතියක් ලෙසද සැලකිය හැකිය.

තවත් වැදගත් කරුණක් නම් මේ සියළුම විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට දිවයින පුරා පිහිටි කලාපීය මධ්‍යස්ථාන සහ අධ්‍යයන මධ්‍යස්ථාන ජාලයක් ක්‍රියාත්මකව තිබීමයි. විශ්වවිද්‍යාලයේ වත්මන් තොරතුරු අනුව, ප්‍රාදේශීය මධ්‍යස්ථාන (Regional Centres) 9 ක් සහ අධ්‍යයන මධ්‍යස්ථාන (Study Centres) 19 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. එමඟින් කොළඹට පමණක් සීමා නොවී රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන සිසුන්ට OUSL හි අධ්‍යාපනික හා ශිෂ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට පහසුකම් සපයයි.

සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඉගෙනුම් කාලය, ගමනාගමනය සහ පන්ති පැවැත්වෙන වේලාවන් ඇතැම් විට රැකියා කරන පුද්ගලයන්ට අභියෝගයක් විය හැකි වුවත්, OUSL හි විවෘත හා දුරස්ථ අධ්‍යාපන ආකෘතිය එම ගැටලුවට වෙනස් ප්‍රවේශයක් ඉදිරිපත් කරයි. විශ්වවිද්‍යාලය සඳහන් කරන්නේ ඉගෙනුම්කරුවන්ට තමන්ගේ වේගයට අධ්‍යාපනය හැදෑරීමට සහ විවිධ ඉගෙනුම් අවශ්‍යතා අනුව අධ්‍යාපනය සකස් කර ගැනීමට හැකි බවයි. මේ නිසා වෘත්තීය ජීවිතය නතර නොකර අධ්‍යාපනික සුදුසුකම් ඉහළ නැංවීමට කැමති පිරිස සඳහා OUSL විකල්ප මාර්ගයක් සපයයි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රවේශය සම්බන්ධයෙන් පවතින ප්‍රධාන අභියෝගයක් වන්නේ භූගෝලීය දුර, රැකියා වගකීම්, පවුල් වගකීම් සහ සාම්ප්‍රදායික පූර්ණකාලීන අධ්‍යාපන ක්‍රමයට ගැළපීමට ඇති අපහසුතායි. OUSL ආකෘතියේ වැදගත්කම පවතින්නේ මෙම විවිධ තත්ත්වයන්ට සාපේක්ෂව අධ්‍යාපනයේ නම්‍යශීලීභාවය වැඩි කිරීම තුළය. ඒ සදහා විශ්වවිද්‍යාලය තම දැක්ම ලෙස “equitable learning opportunities” හෙවත් සාධාරණ ඉගෙනුම් අවස්ථා ලබාදීම මත අවධානය යොමු කරයි. එබැවින් OUSL හි භූමිකාව උපාධි ලබාදීමෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ විවිධ සමාජ හා වෘත්තීය පසුබිම්වල සිටින පුද්ගලයන්ට උසස් අධ්‍යාපනයේ දොරටු විවෘත කිරීමක් ලෙසද විග්‍රහ කළ හැකිය.

වර්තමානය වනවිට තාක්ෂණය යනු ඕනෑම ක්‍රේෂ්ත්‍රයක ඉතාම වැදගත් මෙවලමක් වේ. මේ තත්වය විවෘත හා දුරස්ථ අධ්‍යාපන ආකෘතියේදී වෙනසක් නොවේ. අතීතයේදී දුරස්ථ අධ්‍යාපනය බොහෝ දුරට මුද්‍රිත අධ්‍යයන ද්‍රව්‍ය සහ සම්මන්ත්‍රණ මත රඳා පැවතියද, වර්තමානයේදී ඩිජිටල් ඉගෙනුම් පද්ධති, මාර්ගගත සන්නිවේදනය සහ අනෙකුත් තාක්ෂණික මෙවලම් මගින් ඉගෙනුම්කරුවන්ට සහාය ලබාදීමේ අවස්ථා පුළුල් වී තිබේ. මේ වනවිට විශ්වවිද්‍යාලය විවිධ නවීන පහසුකම් සමඟ නම්‍යශීලී ඉගෙනුම් අත්දැකීමක් ලබාදීමට කටයුතු කරන අතර මෙය විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණය සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වන නව පරපුරේ ඉගෙනුම්කරුවන්ට ඉතාම වැදගත් වේ.

වර්තමානයේදී විවිධ විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් OUSL හි අධ්‍යයන ව්‍යුහය තුළ ප්‍රධාන පීඨ හයක් පවතින අතර ඒවා නම්,
ඉංජිනේරු තාක්ෂණ පීඨය
ස්වාභාවික විද්‍යා පීඨය
සෞඛ්‍ය විද්‍යා පීඨය
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය
අධ්‍යාපන පීඨය
කළමනාකරණ අධ්‍යයන පීඨය
යන පීඨයන්ය.

මෙම විෂය පරාසය හරහා විද්‍යාත්මක, තාක්ෂණික, සමාජ විද්‍යාත්මක, අධ්‍යාපනික සහ වෘත්තීය ක්ෂේත්‍ර රැසකට අදාළ අධ්‍යාපන අවස්ථා ඉගෙනුම්කරුවන්ට ලබාදීමට විශ්වවිද්‍යාලය කටයුතු කරයි.

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී. රැකියා ක්ෂේත්‍රවල අවශ්‍යතා වෙනස් වේ. තාක්ෂණය වේගයෙන් ඉදිරියට යයි. ඒ සමගම නව වෘත්තීන් බිහිවන අතර පවතින වෘත්තීන් සඳහා අවශ්‍ය කුසලතාද වෙනස් වෙමින් පවතී. මෙවැනි පරිසරයකදී පුද්ගලයෙකුට පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් එක් සුදුසුකමක් මත සම්පූර්ණ වෘත්තීය ජීවිතය පවත්වාගෙන යාම වෙනුවට, අඛණ්ඩව ඉගෙනීම සහ කුසලතා යාවත්කාලීන කිරීම වැදගත් වේ.

OUSL හි lifelong learning සංකල්පය මේ පසුබිම තුළ විශේෂ වැදගත්කමක් ගනී. විශ්වවිද්‍යාලය සිය අධ්‍යයන වැඩසටහන් විවිධ මට්ටම් ඔස්සේ පවත්වාගෙන යමින් ජීවිතයේ විවිධ අවස්ථාවලදී අධ්‍යාපනයට පිවිසීමට අවස්ථා සපයයි.

අවසානයේ… ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සුවිශේෂීත්වය පවතින්නේ “විවෘත” යන නාමයේ පමණක් නොවේ. එය අධ්‍යාපනයේ කාලය, ස්ථානය සහ ජීවන තත්ත්වයන් සමඟ ගැළපීම පිළිබඳ වෙනස්ම ආකෘතියක් ඉදිරිපත් කිරීම තුළය. අද දින අධ්‍යාපනය සොයන පුද්ගලයා පාසලෙන් පිටවන තරුණයෙකු පමණක් නොවේ. ඔහු හෝ ඇය රැකියාව කරන වෘත්තිකයෙකු විය හැකිය. පවුලක් පවත්වාගෙන යන මවක් හෝ පියෙකු විය හැකිය. දුරබැහැර ප්‍රදේශයක ජීවත් වන තරුණයෙකු විය හැකිය. වසර ගණනකට පසු නැවත අධ්‍යාපනයට පැමිණෙන වැඩිහිටියෙකු විය හැකිය. ඒ සියළු දෙනාටම උසස් අධ්‍යාපනයේ දොරටුව විවෘතව තබාගැනීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අනන්‍යතාවයකි.

විශේෂ අධ්‍යාපන වාර්තාව|කමල් සිරිවර්ධන SMN24NEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *