ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් එරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට එරට රජය පියවර ගනිමින් සිටී. මේ තත්වය මත විදෙස් සිසුන්, තාවකාලික සංක්‍රමණිකයන් සහ වීසා මාරු කිරීම් ඉලක්ක කරගත් නව ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර මින් ශ්‍රී ලාංකික සිසුන්ටත් බලපෑම් ඇති විය හැකි බවයි සංක්‍රමණ නියෝජිත ආයතන සදහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාව සිය සංක්‍රමණ පද්ධතියේ දැඩි ප්‍රතිසංස්කරණ මාලාවක් ආරම්භ කරමින්, ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් රටට ගෙන්වා ගැනීමේ අවස්ථාව සීමා කිරීමටත්, වීසා කාණ්ඩ අතර නැවත නැවත මාරුවීම ලෙස හඳුන්වන “visa hopping” ක්‍රියාවලිය පාලනය කිරීමටත් තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් කැන්බරාහි National Press Club අමතමින් නව සංක්‍රමණ ප්‍රතිපත්තියේ ප්‍රධාන කරුණු අනාවරණය කළ අතර, රජයේ අරමුණ සංක්‍රමණය සම්පූර්ණයෙන් නතර කිරීම නොව, රටේ ආර්ථික හා සේවා අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් එය කළමනාකරණය කිරීම බව පැවසීය. Reuters වාර්තාවට අනුව, ඕස්ට්‍රේලියානු රජය දැනට වසරකට ආසන්න වශයෙන් 300,000ක් වන Net Overseas Migration සංඛ්‍යාව 2027–28 වන විට 225,000ක් පමණ දක්වා අඩු කිරීමට අපේක්ෂා කරයි.

විදෙස් සිසුන්ගේ පවුල්වලට ප්‍රධාන සීමාව

නව ප්‍රතිපත්තියේ වඩාත් අවධානයට ලක්ව ඇති කරුණ වන්නේ ජාත්‍යන්තර සිසුන්ගේ පවුල් සාමාජිකයන් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයයි. බර්ක් පැවසුවේ ඉදිරියේදී ජාත්‍යන්තර සිසුන්ට සහ ඇතැම් graduate visa හිමියන්ට තම සහකරු, සහකාරිය හෝ දරුවන් ස්වයංක්‍රීයව ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට තිබූ අවස්ථාව සීමා කරන බවයි. කෙසේ වෙතත්, දැනටමත් පවුලේ සාමාජිකයන් සමඟ ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන්ගේ පවුල් වෙන් කිරීමට රජය කටයුතු නොකරන බව බර්ක් අවධාරණය කර තිබේ.

එමෙන්ම නව සීමාව සියලුම ජාත්‍යන්තර සිසුන්ට එකසේ අදාළ නොවන අතර Pacific සහ ASEAN රටවල සිසුන් මෙන්ම PhD සිසුන් සඳහා ව්‍යතිරේක පවතින බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙතෙක් තිබූ Student Visa ක්‍රමය කුමක්ද?

මෙතෙක් Student Visa ක්‍රමය යටතේ ජාත්‍යන්තර සිසුන්ට තම සහකරු/සහකාරිය සහ සුදුසුකම් ලබන dependent දරුවන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අවස්ථාව තිබුණි. එම පවුල් සාමාජිකයන්ට ද වීසා කොන්දේසි යටතේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණු අතර, ඕස්ට්‍රේලියානු රජයේ නිල Study Australia වෙබ් අඩවියද සඳහන් කරන්නේ Student Visa අයදුම්කරුවෙකුට තම spouse, de facto partner සහ වයස අවුරුදු 18ට අඩු dependent children ඇතුළත් කළ හැකි බවයි. එම පවුලේ සාමාජිකයන් සෞඛ්‍ය හා චරිත පරීක්ෂණ ඇතුළු අවශ්‍යතා සපුරාලිය යුතු අතර, පවුලට ඕස්ට්‍රේලියාවේදී මූල්‍යමය සහාය ලබාදිය හැකි බවද පෙන්විය යුතුය. සහකරු හෝ සහකාරියට හිමි රැකියා අයිතිවාසිකම් ඔවුන්ගේ වීසා කොන්දේසි අනුව වෙනස් විය හැකි වුවත් බොහෝ අවස්ථාවල සහකරුට රැකියාවක නිරත වීමටද හැකියාව තිබුණි.

නමුත් මෙම ක්‍රමවේදය හරහා සංක්‍රමණිකයන්ගේ සැබෑ සංඛ්‍යාව Student Visa හි ප්‍රධාන අයදුම්කරුවන්ගේ සංඛ්‍යාවට වඩා ඉහළ යා හැකි බව ඕස්ට්‍රේලියානු රජය සැලකිල්ලට ගෙන තිබේ. Reuters වාර්තාවකට අනුව, පසුගිය වසරේ නිකුත් කළ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා 337,000 කට වැඩි සංඛ්‍යාවකින් ආසන්න වශයෙන් 45,000 ක් පමණ dependents හෝ family members සඳහා වූ වීසා බව වාර්තා වේ.

මෙම තීරණය පිටුපස ඇති ප්‍රධාන කරුණ වන්නේ ඕස්ට්‍රේලියාවේ Net Overseas Migration – NOM, එනම් විදේශීය සංක්‍රමණය හරහා ජනගහනයට එකතු වන ශුද්ධ සංඛ්‍යාව අඩු කිරීමයි. COVID-19 වසංගත සමයේදී ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා දැඩි ලෙස සීමා කර තිබූ අතර, 2022 පෙබරවාරි මාසයේදී බොහෝ සංචාරකයන් සඳහා දේශසීමා නැවත විවෘත කිරීමෙන් පසු විදේශීය සිසුන්, Working Holiday Makers සහ තාවකාලික කුසලතා සහිත සේවකයන්ගේ පැමිණීම වේගයෙන් ඉහළ ගියේය.

ABS දත්ත අනුව 2022–23 මූල්‍ය වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ Net Overseas Migration සංඛ්‍යාව 538,000ක් පමණ දක්වා ඉහළ ගොස් තිබුණි. එය පසුව අඛණ්ඩව පහත වැටී, 2024–25 වර්ෂයේදී 306,000 ක් බවට පත්ව තිබේ. එමෙන්ම, 2025 දෙසැම්බර් දක්වා වූ වසරේ NOM සංඛ්‍යාව 301,000 ක් දක්වා පහත වැටී ඇති බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයද පෙන්වා දී තිබේ. එය 2023 පශ්චාත්-COVID උපරිමයට සාපේක්ෂව සියයට 45 කට වැඩි අඩුවීමක් ලෙස රජය සඳහන් කරයි.

එහෙත් රජයේ ඉදිරි ඉලක්කය මෙය තවදුරටත් අඩු සංඛ්‍යාවක් බවට පත් කිරීම බවයි සදහන් වන්නේ, ඒ අනුව 2026–27 මූල්‍ය වර්ෂය සඳහා NOM 245,000 ක් දක්වාත්, 2027–28 වර්ෂය සඳහා 225,000 ක් දක්වාත් අඩු කිරීම ඕස්ට්‍රේලියානු රජයේ අයවැය පුරෝකථනවල ඇතුළත්ය. ඉන් අනතුරුවද වසරකට 225,000 ක පමණ මට්ටමක් පවත්වා ගැනීමට පුරෝකථනය කර තිබේ.

ජාත්‍යන්තර සිසුන් මෙහිදී වැදගත් වන්නේ ඇයි ?

ඕස්ට්‍රේලියාවේ විදේශීය සිසුන් එරට සංක්‍රමණ සංඛ්‍යාවට බලපාන ප්‍රධාන කණ්ඩායමක් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. 2024–25 මූල්‍ය වර්ෂයේදී ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් අතරින් විශාලතම කණ්ඩායම වූයේ තාවකාලික සිසුන් වන අතර, එම සංඛ්‍යාව 157,000 ක් ලෙස ABS වාර්තා කර තිබේ.

2025 වසරේදී පමණක් ශිෂ්‍ය වීසා 337,000කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත්, ඒ අතරින් ආසන්න වශයෙන් 45,000ක් පමණ සිසුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා වූ වීසා බවත් වාර්තා වේ. මෙවැනි සංඛ්‍යා නිසා සිසුන්ගේ dependents පිළිබඳ ප්‍රතිපත්තිය NOM පාලනයේ වැදගත් කොටසක් බවට පත්ව තිබේ. නව ප්‍රතිපත්තිය යටතේ එම පවුල් එකතුවීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස සීමා වීම, විදේශීය සිසුන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලටද සෘජු බලපෑමක් ඇති කරන කරුණකි.

“Visa hopping” නවත්වන්නත් පියවර

නව ප්‍රතිසංස්කරණයේ තවත් වැදගත් අංගයක් වන්නේ එක් තාවකාලික වීසා කාණ්ඩයක සිට තවත් වීසා කාණ්ඩයකට මාරු වීම පාලනය කිරීමයි. විශේෂයෙන්ම ශිෂ්‍ය වීසා භාවිත කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණ පසුව අධ්‍යාපන පාඨමාලා සහ වීසා වෙනස් කරමින් දිගු කාලයක් රට තුළ රැඳී සිටීම ලෙස විස්තර කෙරෙන “visa hopping” ක්‍රමය පාලනය කිරීමට රජය අවධානය යොමු කර තිබේ.

අමාත්‍ය ටෝනි බර්ක් ගේ ප්‍රකාශවලින් පැහැදිලි වූ තවත් කරුණක් වන්නේ Student Visa පද්ධතිය හරහා අධ්‍යාපනයට වඩා සංක්‍රමණික තත්ත්වය දිගු කරගැනීමේ අරමුණින් වීසා මාරු කිරීම සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ඔහු පෙන්වා දුන්නේ ඇතැම් පුද්ගලයන් එක් පාඨමාලාවක් අවසන් වූ පසු තවත් පාඨමාලාවකට මාරු වෙමින්, ඉන්පසුව තවත් ආයතනයකට මාරු වෙමින් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීම දිගු කරන බවයි.

විශේෂයෙන්ම ඉහළ අධ්‍යාපන සුදුසුකමක් කරා ඉදිරියට යන මාරුවක් — උදාහරණයක් ලෙස Bachelor සිට Master වෙත යාම — සාමාන්‍ය අධ්‍යාපනික ප්‍රගතියක් ලෙස සැලකිය හැකි බව ඔහු පැහැදිලි කළේය. නමුත් සුදුසුකම් මට්ටම් අතර ඉහළට හා පහළට මාරු වෙමින්, විවිධ අධ්‍යාපන ආයතන භාවිත කරමින් රැඳී සිටීමේ කාලය දිගු කරගැනීමේ ක්‍රමය අවසන් කිරීමට රජය අපේක්ෂා කරන අතර මෙහිදී අධ්‍යාපන ආයතනය තෝරාගැනීම සහ වීසා තත්ත්වය දිගු කිරීම අතර ඇති සම්බන්ධය දැඩි ලෙස පරීක්ෂා කිරීමට ඉඩ ඇත.

නව ප්‍රතිපත්තිය යටතේ සිසුන්ට පාඨමාලා මාරු කිරීමේදී ද සීමා පැනවීමටත්, වීසා පද්ධතිය භාවිත කරමින් අරමුණකින් තොරව රැඳී සිටීම වැළැක්වීමටත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වේ.

Visitor Visa පද්ධතියටත් වෙනසක්

කෙසේ වෙතත් මෙම සංක්‍රමණ පාලනය ජාත්‍යන්තර සිසුන්ට පමණක් සීමා වී නැත. නව ප්‍රතිසංස්කරණ යටතේ Visitor Visa මත ඕස්ට්‍රේලියාවට පැමිණ වෙනත් වීසා වර්ගයකට රට තුළ සිටම මාරු වීම වැළැක්වීම සඳහා “No Further Stay” කොන්දේසියක් පුළුල් කිරීමට රජය කටයුතු කරයි. මෙහි අරමුණ වන්නේ සංචාරක වීසා භාවිත කරමින් රැකියා හෝ වෙනත් වීසා මාර්ග වෙත මාරු වීම වැළැක්වීම බව වාර්තා වේ.

Working Holiday වීසා ක්‍රමයටත් වෙනසක්

Working Holiday Maker වැඩසටහනද නව සංශෝධනවලට ඇතුළත්ය. දෙවන සහ තෙවන වසර සඳහා Working Holiday Visa ලබාගැනීමට අදාළ අයදුම් ක්‍රියාවලියට ballot ක්‍රමයක් හඳුන්වාදීමටත්, එම වීසා යටතේ රැඳී සිටීම සඳහා ප්‍රාදේශීය ප්‍රදේශවල වැඩ කිරීම සම්බන්ධ කොන්දේසි ශක්තිමත් කිරීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙය විශේෂයෙන්ම කෘෂිකාර්මික, සංචාරක සහ ප්‍රාදේශීය කර්මාන්ත සඳහා විදේශීය තාවකාලික සේවකයන් මත රඳා පවතින ප්‍රදේශවල අවධානයට ලක්වන කරුණකි. මෙහිදී ඕස්ට්‍රේලියානු රජය එකවර සියලුම සංක්‍රමණ අඩු කිරීමේ ප්‍රතිපත්තියක් වෙනුවට, රටට අවශ්‍ය කුසලතා සහ වෘත්තීන් වෙත වැඩි අවධානයක් යොමු කිරීමටද සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය සේවා, ඉදිකිරීම්, අධ්‍යාපනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ක්ෂේත්‍රවල සේවක අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දීමට නව ප්‍රතිපත්තිය යටතේ සැලසුම් කර ඇති බව වාර්තා වේ. කෘෂිකර්මාන්තය සහ ආරක්ෂක අංශය වැනි ක්ෂේත්‍රද වැඩි අවධානයකට ලක්වීමට නියමිතය.

එමඟින් රජයේ ප්‍රතිපත්තියේ එක් පැත්තකින් සංක්‍රමණ සංඛ්‍යාව අඩු කරන අතර, අනෙක් පැත්තෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට අවශ්‍ය සේවකයන් ගෙන්වා ගැනීමේ මාර්ග පවත්වා ගැනීමට උත්සාහ කරන බව පෙනේ.

රජය සංක්‍රමණ මට්ටම අඩු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන්නේ ජනගහන වර්ධනය රටේ නිවාස, සේවා සහ යටිතල පහසුකම්වල ධාරිතාව සමඟ ගැළපිය යුතු බව පවසමිනි. ඒ අතරම, සංක්‍රමණිකයන් කෙරෙහි දැඩි සීමා පැනවීමෙන් කම්කරු හිඟයට මුහුණ දෙන ක්ෂේත්‍රවලට බලපෑම් ඇති විය හැකි බව ව්‍යාපාරික හා අධ්‍යාපන අංශවලින් අනතුරු ඇඟවීම්ද එල්ල වී තිබේ.

නීති හඳුන්වා දීමට පෙර ඒවා ප්‍රසිද්ධ නොකිරීමට හේතුව

මෙම නව පද්ධතිය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක් වන්නේ ඇයි රජය සියලු විස්තර පාර්ලිමේන්තුව හරහා විවෘතව සාකච්ඡා කරමින් නීති කෙටුම්පත් ඉදිරිපත් නොකරන්නේ ? යන්නයි. National Press Club හිදී බර්ක්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කළේ, වීසා පද්ධතියේ ඇතැම් loopholes වසා දැමීමට රජය ගන්නා ක්‍රියාමාර්ග කලින්ම සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කළහොත්, එයට ප්‍රතිචාර වශයෙන් ජනතාවගේ හැසිරීම් වෙනස් විය හැකි බවයි.

ඔහුගේ අදහස අනුව, “visa hopping” වැනි ක්‍රියාවලියක් වසා දැමීමට යන බව කලින් ප්‍රසිද්ධ වුවහොත්, එය ක්‍රියාත්මක වීමට පෙරම පුද්ගලයන් පද්ධතිය වටා යාමට නව ක්‍රම සොයාගත හැකිය. එය ජාතික අවශ්‍යතාවට අහිතකර “behavioural change” එකක් ලෙස විස්තර කළේය.
බර්ක්ගේ ප්‍රකාශ අනුව, සංක්‍රමණ පද්ධතියේ ඇතැම් කොටස් වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු නීති සංශෝධන අවශ්‍ය වේ. විශේෂයෙන්ම asylum/protection system සම්බන්ධයෙන් රජයට පාර්ලිමේන්තු සහාය අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. එහිදී ඔහු නීත්‍යානුකූලව ආරක්ෂාව ඉල්ලා සිටින asylum seekers සහ වීසා පද්ධතිය දිගු කිරීමේ අරමුණින් protection claim ඉදිරිපත් කරන පුද්ගලයන් අතර වෙනස පෙන්වා දුන්නේය.

ඒ අතරම සැබෑ ආරක්ෂණ අවශ්‍යතාවක් ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලට හානි නොවන ආකාරයෙන් පද්ධතිය සංශෝධනය කළ යුතු බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය මේ වනවිට දැඩි දේශපාලන විවාදයකටද මැදිව තිබේ. One Nation පක්ෂය විසින් වඩා දැඩි සංක්‍රමණ සීමා යෝජනා කර ඇති අතර, පක්ෂයේ යෝජනාවලට තාවකාලික සංක්‍රමණය විශාල ලෙස අඩු කිරීම ඇතුළත්ය. Reuters වාර්තාව අනුව, එම පක්ෂය ඉදිරි වසර තුන තුළ තාවකාලික සංක්‍රමණිකයන් 750,000 කට වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට යෝජනා කර තිබේ.

කෙසේ වෙතත්, ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් මෙම නව ප්‍රතිසංස්කරණ One Nation පක්ෂයේ බලපෑමට සෘජුව ප්‍රතිචාරයක් ලෙස සකස් කළ බව ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ සංක්‍රමණ පද්ධතියේ වෙනස්කම් පිළිබඳ සැලසුම් මීට පෙර සිටම ක්‍රියාත්මක වූ බවයි.

මේ සියළු කාරණා අතර මේ තත්වය ශ්‍රී ලාංකික සිසුන්ට බලපාන්නේ කෙසේද යන්නත් විමසා බැලිය යුතුය. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලාංකික සිසුන් අතරද ජනප්‍රිය අධ්‍යාපන ගමනාන්තයකි. එබැවින් මෙම සංශෝධන පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තු වන සිසුන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම,

  • විවාහක සිසුන්,
  • දරුවන් සිටින සිසුන්,
  • සහකරු/සහකාරිය පසුව ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන සිසුන්,
  • Student Visa සිට වෙනත් වීසා කාණ්ඩයකට මාරු වීමට සැලසුම් කරන සිසුන් ‍යන කාණ්ඩ මින් ඉදිරියේදී ඒ සදහා බලපාන නව නීතිවල නිශ්චිත කොන්දේසි පිලිබඳව අවධානය යොමුකර කටයුතු කිරීම වැදගත් වේ.

කෙසේ වෙතත්, නව නීතිවල සියලුම ක්‍රියාත්මක කිරීමේ විස්තර එකම ආකාරයෙන් සෑම සිසුවෙකුටම බලපාන බව උපකල්පනය කිරීම සුදුසු නොවේ. පාඨමාලාව, වීසා වර්ගය, ජාතිකත්වය සහ අනෙකුත් සුදුසුකම් අනුව වෙනස්කම් තිබිය හැකිය. මේ නිසා සැමවිටම ඕස්ට්‍රේලියානු රජයේ නිල උපදෙස් අනුව පමණක් තීරණ ගැනීම වැදගත් වේ.
එබැවින් සෑම විටෙකම, ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා අයදුම් කිරීමට පෙර වීසා කොන්දේසි, dependents සඳහා වන නීති, වැඩ කිරීමේ අයිතිවාසිකම් සහ වීසා මාරු කිරීමේ නව සීමා පිළිබඳ නවතම Australian Department of Home Affairs තොරතුරු පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි.

#SMN24 #SMN24Media #smn24news #Australia #AustraliaVisa #StudentVisa #AustraliaStudentVisa #MigrationAustralia #AustralianMigration #InternationalStudents #SriLankanStudents #StudyInAustralia #VisaHopping #TonyBurke #AustraliaNews #MigrationNews #WorldNews #VisaNews #SriLanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *