පොලීසියෙන් නිල අනතුරු ඇඟවීමක් – ව්‍යාජ GovPay වෙබ් අඩවි, SMS සහ සමාන පෙනුමැති ගෙවීම් පිටු පිටුපස සැඟවුණු සයිබර් වංචාවට හසු නොවන්න.

ඔබගේ ජංගම දුරකථනයට එක්වරම කෙටි පණිවිඩයක් පැමිණෙයි.
“ඔබ රථවාහන නීතියක් උල්ලංඝනය කර ඇත. ඔබට නියම කර ඇති දඩ මුදල වහාම ගෙවන්න.”
ඊට පහළින් ගෙවීම සඳහා සබැඳියකි.
පණිවිඩයේ ශ්‍රී ලංකා පොලීසියේ නම ද සඳහන් විය හැකිය. රථවාහන වැරැද්දක්, දඩ මුදලක්, ගෙවීමට ඇති අවසන් දිනයක් සහ නීතිමය පියවර ගැන සඳහනක්ද තිබිය හැකිය. තවත් පියවරක් ඉදිරියට ගිය විට, ඔබට පෙනෙන්නේ රජයේ GovPay සේවාවට සමාන පෙනුමක් ඇති වෙබ් පිටුවකි.
එහි ශ්‍රී ලංකා පොලීසියේ නම තිබිය හැකිය. GovPay ලාංඡනයක් තිබිය හැකිය. ගෙවීම් පෝරමයක් තිබිය හැකිය.

ඒ නිසා සාමාන්‍ය පරිශීලකයෙකුට එය ව්‍යාජ වෙබ් අඩවියක් බව හඳුනාගැනීම පහසු නොවිය හැකිය.
නමුත් මෙහි ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ ඔබ ගෙවන්නේ සැබෑ රථවාහන දඩයක්ද, නැතහොත් වංචාකරුවෙකුට ඔබේ මූල්‍ය තොරතුරු ලබාදෙමින් සිටිනවාද? යන්නයි.

ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට ජනතාවට නිල වශයෙන් අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය ලෙස පෙනී සිටිමින් රථවාහන දඩ ගෙවීමට යැයි පවසන ව්‍යාජ SMS පණිවිඩ සහ GovPay සේවාව අනුකරණය කරන ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් සිද්ධීන් අනාවරණය වී ඇති බවයි.
එම පණිවිඩවලින් ඇතැම් විට වේග සීමා ඉක්මවා ධාවනය කිරීම වැනි රථවාහන වැරදි සිදුකර ඇති බව පවසමින් දඩයක් ගෙවන ලෙස උපදෙස් දී තිබෙන බව පොලීසිය පවසයි.

මෙහිදී වංචාකරුවන් භාවිත කරන මනෝවිද්‍යාත්මක උපක්‍රමය ඉතා සරලය.
“ඔබ වැරැද්දක් කර තිබේ.”
“ඔබට දඩයක් ගෙවීමට සිදුවී ඇත.”
“වහාම ගෙවන්න.”
මෙම පියවර තුන මගින් ලබන්නා තුළ සැකය, බිය සහ හදිසිභාවය එකවර ඇති කිරීමට උත්සාහ කරන බව පණිවිඩයේ ස්වභාවයෙන් පැහැදිලි වේ.
අනතුරුව, “නිල” පෙනුමක් ඇති වෙබ් අඩවිය SMS එකේ ඇති සබැඳිය මත ක්ලික් කළ විට විවෘත වන වෙබ් අඩවිය මෙවැනි වංචාවක ඉතා වැදගත් කොටසකි.

ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ වංචාකරුවන් විසින් නිල GovPay වේදිකාවට ඉතා සමීප පෙනුමක් ඇති ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර ඇති බවයි. එම වෙබ් අඩවි හරහා ජනතාවගෙන් බැංකු සහ ගෙවීම් තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන බව පොලීසිය සඳහන් කරයි. URL එක පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය.

ශ්‍රී ලංකා පොලීසියේ නිල අනතුරු ඇඟවීම අනුව, නිල GovPay වෙබ් අඩවිය govpay.lk යන නිල .gov.lk ඩොමේනය යටතේ ක්‍රියාත්මක වේ. පොලීසිය විසින් ව්‍යාජ පණිවිඩවල තිබූ වෙනත් සැකසහිත URL එකක්ද උදාහරණයක් ලෙස පෙන්වා දී තිබේ.

GovPay නිල වෙබ් අඩවියට අනුව, රථවාහන පොලිස් “Spot Fines” මාර්ගගතව ගෙවීමේ පහසුකම පවතී. ඒ සඳහා GovPay සමඟ සම්බන්ධ බැංකු යෙදුම්, අන්තර්ජාල බැංකු සේවා සහ අනුමත FinTech යෙදුම් භාවිත කළ හැකිය. එම නිසා ජනතාවට “GovPay කියන්නේ ව්‍යාජ දෙයක්” යැයි සිතීමද වැරදිය.
සැබෑ GovPay සේවාවක් පවතී. ඒ සේවාව අනුකරණය කරන ව්‍යාජ වෙබ් අඩවිද පවතින බවට පොලීසිය අනතුරු අඟවයි.

එම නිසා වැදගත්ම දේ නිළ ගෙවීමකදී, දඩ පත්‍රිකාවේ සඳහන් තොරතුරු, එනම් Fine Sheet Number, වාහන අංකය, රියදුරු බලපත්‍ර අංකය, පොලිස් ස්ථානය, අදාළ රථවාහන නිලධාරියාගේ තොරතුරු සහ දඩ වර්ගය වැනි අවශ්‍ය දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලියක් පවතී.
ගෙවීමට පෙර දඩ තොරතුරු පරීක්ෂා කර තහවුරු කිරීමද ක්‍රියාවලියේ කොටසකි. එමෙන්ම, ගෙවීම් ක්‍රියාවලිය ආරම්භ කරන්නේ ඔබේම බැංකු/FinTech යෙදුම තුළින්ය. එය කිසිවිටෙකත් SMS එකකින් ලැබුණු අහඹු සබැඳියකින් ආරම්භ කිරීම නිල ක්‍රමවේදය නොවේ.

එම නිසා මතක තබාගත යුත්තේ, රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් එම ස්ථානයේදී දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම හෝ නීතිය අනුව නඩු කටයුතු ආරම්භ කිරීම සිදුකරන බවත් CCTV හෝ වෙනත් නිරීක්ෂණ ක්‍රම හරහා රථවාහන වැරදි හඳුනාගත් අවස්ථාවලදී පවා, SMS මගින් බැංකු ගිණුම් තොරතුරු ලබාදෙන ලෙස හෝ SMS එකක ඇති සබැඳියක් හරහා මුදල් ගෙවන ලෙස පොලීසිය ඉල්ලා නොසිටින බවත් ය.

ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැකසහිත සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත්, එවැනි පණිවිඩ හරහා පුද්ගලික හෝ බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසත්ය. යම් පුද්ගලයෙකු මෙවැනි වංචාවකට හසුවී ඇති බවට සැකයක් තිබේ නම්, ප්‍රමාද නොවී ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසද පොලීසිය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *