නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අවට ජනතාවට බාධා වන ආකාරයෙන් රැඳී සිටි පුද්ගලයන් ඉවත් කිරීමටත්, අනවසරයෙන් පවත්වාගෙන ගිය බවට සඳහන් රථගාල් ඉවත් කර මාර්ගය නිදහස් කිරීමටත් පොලිසිය පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

ඒ අනුව, DMT ප්‍රධාන කාර්යාලය ආසන්නයේ ජනතාවට පීඩාකාරී හා බාධාකාරී ලෙස රැඳී සිටි පුද්ගලයන් ඉවත් කිරීමටත්, මාර්ගයේ ගමනාගමනයට බාධා වන ආකාරයෙන් භාවිත කර තිබූ බවට සඳහන් අනවසර රථගාල් ඉවත් කිරීමටත් කටයුතු කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ලබාගැනීම සඳහා දෛනිකව විශාල පිරිසක් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන බැවින්, එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමටද පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

විශේෂයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාවට අනවශ්‍ය බලපෑම් සිදුකිරීම, අතරමැදි පුද්ගලයන් හරහා සේවා ලබාදෙන බව පවසමින් මුදල් ඉල්ලා සිටීම හෝ මාර්ග හා පොදු ස්ථාන අත්පත් කරගැනීම වැනි ක්‍රියාකාරකම් පිළිබඳ ගැටලුව DMT පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශයට අලුත් දෙයක් නොවන අතර කාලයක පටන් ක්‍රියාත්මක වූ දැවැන්ත මාෆියාවකි.

නාරහේන්පිට DMT ආශ්‍රිතව අතරමැදියන් හෙවත් තැරැව්කරුවන් සම්බන්ධ ගැටලු මීට පෙරද වාර්තා වී තිබේ.
විශේෂයෙන් 2025 ජූලි 28 වැනිදා, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආසන්නයේ සිදුකළ වැටලීමකදී රුපියල් 10,000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබූ තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. CIABOC නිල තොරතුරුවලට අනුව, යතුරුපැදියක උප ලියාපදිංචි සහතිකය මුල් ලියාපදිංචි සහතිකයක් ලෙස වෙනස් කරගැනීමට DMT නිලධාරීන් හරහා කටයුතු කරදෙන බව පවසමින් අදාළ තැරැව්කරු රුපියල් 30,000 ක මුදලක් ඉල්ලා තිබූ බව සඳහන් වේ. එහිදී රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේ වෙතත්, DMT ආශ්‍රිතව මීට පෙර වාර්තා වූ අල්ලස් හා අතරමැදි ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධීන් සැලකිල්ලට ගත්විට, ජනතාවට බාධාවකින් තොරව රාජ්‍ය සේවාවන් ලබාගත හැකි පරිසරයක් පවත්වාගෙන යාම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආයතනික පාලනය ශක්තිමත් කිරීම වැදගත් කරුණක් වනු ඇත.

මේ සම්බන්ධයෙන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචිය සහ වෙනත් මෝටර් රථ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ලබාදෙන සේවා සදහා පැමිණෙන ජනතාව අතරින් ඇතැම් පිරිස් අතරමැදියන්ගේ සහාය ලබාගැනීමට පෙළඹෙන අවස්ථාද පවතින බවත් කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවාවක් ලබාගැනීමේදී නිල ක්‍රියාපටිපාටියෙන් බැහැරව පුද්ගලයන්ට මුදල් ලබාදීම හෝ “ඉක්මනින් වැඩේ කරදෙන” බව පවසන පුද්ගලයන් මත රඳා සිටීම අවශ්‍ය නොවන බවත් ය.

එබැවින් අදාළ සේවාව සඳහා නිල ගාස්තු පමණක් ගෙවීම, නිලධාරීන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගැනීම සහ කිසියම් අක්‍රමිකතාවක් හෝ අල්ලස් ඉල්ලීමක් සිදුවන්නේ නම් අදාළ බලධාරීන් වෙත පැමිණිලි කිරීම සිදු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *