අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කර තිබේ.

ඒ අනුව එම දඬුවමට එරෙහිව ඇය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ මහත්මිය වහාම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. එමෙන්ම අදාළ සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇත.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශ මහත්මියට 2022 මැයි 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාස හයක සිර දඬුවමක් ද නියම කර තිබිණි.

කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ අතර, එම අභියාචනය 2026 ජූනි 11 වැනිදා ප්‍රතික්ෂේප කෙරිණි. එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව තහවුරු කළේය.

එම තීන්දුවට එරෙහිව ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, අද ප්‍රකාශයට පත් කළේ එම අභියාචනය සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුවයි. ඒ අනුව පහළ අධිකරණ දෙකක් විසින් ලබාදුන් තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරමින් ඇයට නියම වූ වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *