Views: 553 ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනාවට අදාළව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය අද (18) තහවුරු කර තිබේ. එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් ගොනුකර තිබූ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා සඳහන් කළේ, බෞද්ධ දර්ශනය තුළ ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර ඇති අතර ආදරය, කරුණාව සහ මෛත්‍රිය වැනි ගුණාංග අවධාරණය කර ඇති බවයි. ආගමික නායකයන් යහපත් දිවි පෙවෙතක් ගත කරමින් ආගමානුකූලව කටයුතු කළ යුතු බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය. නඩුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී ඥානසාර හිමියන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව මහාධිකරණය තීරණය කර ඇති බව විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව මහාධිකරණ තීන්දුවට මැදිහත් වීමට අවශ්‍යතාවක් නොමැති බව තීරණය කළ අභියාචනාධිකරණය, ඥානසාර හිමියන්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය. අදාළ තීන්දුවේ පිටපත් අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙස ද අභියාචනාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබේ. 2016 මාර්තු 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ පවරා තිබූ මෙම නඩුවෙන් වරදකරු වූ ඥානසාර හිමියන්ට 2024 වසරේදී කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම කරනු ලැබීය. එම දඬුවම අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කර තිබිණි. Post navigation පොලිස් විශේෂ කාර්ය බලකායට නව අණදෙන නිලධාරියෙක්. ශෂී වීරවංශගේ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි – වහාම රිමාන්ඩ් භාරයට