Post Views: 174 (ගවේෂණාත්මක වාර්තාකරණය – කමල් සිරිවර්ධන)පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (31) මරණීය දණ්ඩනය නියම කරන ලදී. මෙම තීන්දුව බෙදුනු තීන්දුවක් වූ අතර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙක් චූදිතයන් සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී. කෙසේ නමුත් අනිකුත් විනිසුරුවරුන් දෙපලගේ බහුතර එකඟතාවය මත චූදිතයන් වරදකරුවන් බවට පත්කරන ලදී. මෙම සටහන, මේ තත්වය පිලිබඳව මෙරට අපරාධ නීතිය අනුව කරනු ලබන විග්‍රහයක් පමණක් වන අතර නීතිය කෙතරම් විශාල පරිමාණයක් ක්‍රියාත්මක වන්නේදැයි පොදු ජනතාවට යම් අවබෝධයක් ලබාදීම සඳහාම සද්භාවයෙන් යුක්තව කරනු ලබන්නකි. වසර ගණනාවක පටන් මෙරට ජන සමාජය තුල විවිධාකාරයේ ආන්දෝලනයන් ඇතිකරමින් තිබෙන 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරය නිසා පුද්ගලයන් 268 දෙනෙකු මිය ගොස් තවත් 586 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් සමහරු දීර්ඝකාලීන බරපතල සංකූලතාවලට ලක්ව දැඩි පීඬාකාරී තත්වයන්ගෙන් යුතුව ජීවත්වන බවත් සදහන් කල යුතුයි. දීර්ඝ කාලයක් පුරාවට මෙම සිදුවීම සම්බන්ධයෙන් කල විමර්ශණ වලින් හෙලිව ඇත්තේ මෙම ප්‍රහාරය පිලිබඳව බුද්ධි තොරතුරු ගණනාවක් 2019 අප්‍රේල් මස මුල් සතියේ පටන් ප්‍රහාරය සිදුවූ අප්‍රේල් 21 වැනිදාත් අතර කාල සීමාව තුලදී ලැබී තිබූ බවයි.මෙම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ පූජිත් ජයසුන්දරයි. 1985 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ පූජිත් ජයසුන්දර 2010 වසරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්විය. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් විශ්‍රාම යාමෙන් පසුව 2016 වසරේ පොලිස්පති ලෙස පත්වූ හෙතෙම මෙම ප්‍රහාරය සිදුවීමත් සමග එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන විසින් අනිවාර්ය නිවාඩු යවන ලදී.එමෙන්ම, එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කලේ හේමසිරි ප්‍රනාන්දු යි. 1949 ඔක්තෝබර් 12 වන දා උපත ලද හේමසිරි ප්‍රනාන්දු බොරැල්ලේ සීවලී විදුහලෙන් සහ කොළඹ නාලන්ද විදුහලෙන් සිය අධ්‍යාපනය හදාරා තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වූ ඔහු 1972 වසරේදී අධිකාරීලත් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයට එක්ව කමාන්ඩර් ධූරය හොබවමින් නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා ලදී. 1994 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධූරයට පත් වීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු අගමැති ලේකම්වරයා ලෙස පත්කල අතර 1997 වසරේ සිට 2018 වසර දක්වා මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර ද දැරීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් මස 3 වන දා හේමසිරි ප්‍රනාන්දු සිය කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස පත්කල අතර එම වසරේම දෙසැම්බර් 21 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔහුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පත් කිරීමට කටයුතු කළේ ය. ප්‍රහාරයෙන් පසුව 2019 අප්‍රේල් 25 වන දා හෙතෙම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ ඉතිහාසය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850කට අධික ප්‍රමාණයක් බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙන ම නඩු දෙකක් ගොනු කර තිබුණි. නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ පසුගිය 2022 පෙබරවාරි මාසයේදී ය.ත්‍රිපුද්ගල මහාධිකරණය එම තීරණය ගැනීමට බලපෑ නෛතික පදනම ප්‍රධාන කරුණු 3ක් මත සලකා බලා තිබුනි. විත්තිවාචකයක් කැඳවීමට තරම් සාක්ෂි නොමැති වීම (No Case to Answer)අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තියට අනුව, පැමිණිල්ල (එම අවස්ථාවේදී නීතිපතිවරයා) විසින් තම සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව, එම සාක්ෂි මත පදනම්ව විත්තිකරුවන් වරදකරුවන් බවට “ප්‍රථම දෘෂ්ටියෙන්” (Prima facie) ඔප්පු කිරීමට අපොහොසත් වී ඇත්නම්, විත්තිකරුවන්ගේ පාර්ශවයෙන් සාක්ෂි කැඳවීමකින් තොරවම ඔවුන්ව නිදහස් කිරීමට විනිසුරු මඩුල්ලට බලය ඇත. 2022 දී මහාධිකරණය තීරණය කළේ නීතිපතිවරයාගේ සාක්ෂි, චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. සාපරාධී චේතනාව (Mens Rea) ඔප්පු කිරීමට නොහැකි වීමමිනීමැරීම (දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය) සහ මිනීමැරීමට තැත් කිරීම (300 වගන්තිය) යන බරපතළ චෝදනා ඔප්පු කිරීම සඳහා විත්තිකරුවන්ට එම අපරාධය සිදුවීමට අවශ්‍ය “චේතනාව” තිබූ බව නීතියෙන් තහවුරු කළ යුතුය. අදාළ බුද්ධි තොරතුරු නොසලකා හැරීම බරපතළ රාජකාරි පැහැර හැරීමක් වුවද, ඉන් මිනිසුන් ඝාතනය වීමේ සාපරාධී චේතනාවක් ඔවුන්ට තිබූ බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නොමැති බව එකල මහාධිකරණය තීරණය කළේය. “අනුබල දීම” (Abetment) පිළිබඳ නෛතික අර්ථ නිරූපණයදණ්ඩ නීති සංග්‍රහය යටතේ යම් අපරාධයකට අනුබල දීමක් (102 වගන්තිය) ඔප්පු කිරීමට නම්, විත්තිකරුවන් විසින් ත්‍රස්තවාදීන්ට සෘජුවම යම් පහසුකමක් හෝ සහයක් ලබා දී තිබිය යුතු බවට මහාධිකරණය එහිදී අර්ථකථනය කළේය. හුදෙක් රාජකාරිය පැහැර හැරීම (Omission) පමණක්, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ අපරාධයට “නීත්‍යානුකූලව අනුබල දීමක්” ලෙස සැලකිය නොහැකි බව එදින ත්‍රිපුද්ගල මහාධිකරණයේ නිගමනය විය. කෙසේ වෙතත්, මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව දෝෂ සහගත බව දක්වමින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනය විභාග කල පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුව තුල දණ්ඩ නීති සංග්‍රහයේ 107 වගන්තිය (අනුබල දීම) වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, සාක්ෂි නොමැතිකමින් නඩුව අවසන් කිරීමට හේතුවක් නොමැති බවත් තීරණය කරමින් නඩුව නැවත විභාග කිරීමට නියෝග කරන ලදී. ඒ අනුව 2024 නොවැම්බර් 05 දින මෙම නඩුව නැවත කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේ ය. නැවත ආරම්භ කළ නඩුවේදී චෝදක සහ විත්ති යන පාර්ශව දෙකෙහිම සාක්ෂි සලකා බැලීමෙන් පසු, බහුතර එකඟතාව මත (බෙදුණු තීන්දුවකින්) මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනාවලට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කරමින් මරණීය දණ්ඩනය නියම කරන ලදී. විශේෂයෙන්ම මෙය විනිසුරුවරුන්ගේ ඒකමතික තීරණයක් නොවීම සහ “බෙදුණු තීන්දුවක්” (Divided Verdict) වීම මෙම නඩුවේ අවධානය දිනාගත් ප්‍රධාන කරුණක් වී තිබේ. මෙම සංකීර්ණ නෛතික තත්ත්වය මෙරට නීතියට අනුව විග්‍රහ කළ විට පෙනී යන්නේ, ත්‍රිපුද්ගල මහාධිකරණය සහ බහුතර තීරණය (Trial-at-Bar and Majority Verdict)ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ අධිකරණ සංවිධාන පනත අනුව, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හෝ මහජන සාමයට දැඩි බලපෑමක් එල්ල කරන සුවිශේෂී නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයාගේ නියමයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් (Trial-at-Bar) පත් කළ හැකි අතර එහිදී විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඩුල්ලකදී තීන්දුවක් ලබා දීමේදී සියලුම විනිසුරුවන් එකම මතයක සිටීම අනිවාර්ය නොවේ. විනිසුරුවරුන් දෙදෙනෙකු (බහුතරය) එක් මතයකත්, අනෙක් විනිසුරුවරයා ඊට විරුද්ධ මතයකත් (Dissenting Judgment) සිටී නම්, බහුතර තීරණය අධිකරණයේ නිල තීන්දුව ලෙස ප්‍රකාශයට පත් කෙරේ. ඒ අනුව විනිසුරුවරුන් දෙදෙනෙකුගේ එකඟතාව මත චූදිතයන් වරදකරුවන් කිරීම නෛතිකව සම්පූර්ණයෙන්ම වලංගු වේ. රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම (Omission and Abetment)මෙම නඩුවේ වඩාත්ම සංකීර්ණ නෛතික ගැටලුව වන්නේ යමක් “නොකර සිටීම” (Omission / රාජකාරිය පැහැර හැරීම) අපරාධයකට “අනුබල දීමක්” (Abetment) ලෙස ලංකා දණ්ඩ නීති සංග්‍රහය (Penal Code) යටතේ අර්ථ දැක්වීමයි.සාමාන්‍යයෙන් මිනීමැරීමට අනුබල දීමක් ලෙස සලකන්නේ අපරාධකරුවන්ට ආයුධ සැපයීම හෝ සැලසුම් සකස් කර දීමයි. එහෙත් නීතියට අනුව, යම් නිලධාරියෙකුට යම් අපරාධයක් වළක්වා ගැනීමට නීත්‍යානුකූල බැඳීමක් (Legal duty to act) තිබියදීත්, දැනුවත්ව සහ බරපතළ නොසැලකිලිමත්කමකින් යුතුව (Gross Negligence) එම යුතුකම පැහැර හරින්නේ නම්, එය අපරාධකරුවන්ට අපරාධය කිරීමට පහසුකම් සැලසීමක් හෙවත් වක්‍රව අනුබල දීමක් ලෙස අධිකරණයට නිර්වචනය කළ හැක. බහුතර විනිසුරුවන්ගේ නිගමනය වී ඇත්තේ මෙම පැහැර හැරීම මිනීමැරීමට අනුබල දීමක් තරම් බරපතළ බවයි. නිදහස් කළ විනිසුරුවරයාගේ මතය (The Dissenting Opinion)එක් විනිසුරුවරයෙකු විසින් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීම මගින් පෙන්නුම් කරන්නේ, නීතියේ දැඩි අර්ථ නිරූපණයකට අනුව මෙම “රාජකාරිය පැහැර හැරීම” යන්න ත්‍රස්තවාදීන්ගේ මිනීමැරීමේ චේතනාවට (Mens rea) සමාන කළ නොහැකි බවට ඔහු තර්ක කර ඇති බවයි. බුද්ධි තොරතුරු ලැබීම පමණක් පදනම් කරගෙන, සිදුවීමට යන අපරාධයට සෘජු දායකත්වයක් නොමැතිව, මිනීමැරීමට අනුබල දීමේ චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නොමැති බවට අදාළ විනිසුරුවරයා නිගමනය කර ඇත. මෙම තත්වය මෙරට නීතී ක්‍රේෂ්ත්‍රය තුල ඉතාමත් වැදගත් සංදිස්ථානයක් වන අතර, වරක් නිදොස් කළ පුද්ගලයෙකුට, සාධාරණ නෛතික ක්‍රියාවලියක් සහ අභියාචනයක් හරහා නැවත නඩු විභාගයක් පවත්වා උපරිම දඬුවම ලබා දිය හැකි බවට මෙම නඩුව ඉතාමත් හොද උදාහරණයකි. කෙසේ වෙතත් මෙම වරදකරුවන්ට මින් ඉදිරියට මේ සදහා ගත හැකි තවත් පියවර ඇති අතර ඒ අනුව, මෙය බෙදුණු තීන්දුවක් වන බැවින් සහ මරණ දඬුවම වැනි උපරිම දඬුවමක් නියම වී ඇති බැවින්, චූදිතයන්ට මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට (Supreme Court) අභියාචනයක් ඉදිරිපත් කිරීමට පූර්ණ නෛතික අයිතිය ඇත. ත්‍රිපුද්ගල මහාධිකරණයක තීන්දුවක් අභියාචනය කිරීමේදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල (විනිසුරුවන් 5 දෙනෙකුගෙන් යුත්) විනිසුරු මඩුල්ලක් හමුවේ එය විභාග කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එහිදී ත්‍රිපුද්ගල මහාධිකරණයේ විරුද්ධ මතය පළ කළ විනිසුරුවරයාගේ තීන්දුව, අභියාචනා නඩුවේදී විත්තියේ නීතිඥවරුන්ට ප්‍රබල සාක්ෂියක් සහ තර්කයක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද පවතී. Post navigation පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්.