(විශේෂ වාර්තාකරුවෙකු විසිනි) “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය.” ශ්‍රී ලංකාවේ සෑම බන්ධනාගාරයකම ප්‍රධාන පිවිසුමේ ඉතා අලංකාර ලෙස ලියා ඇති මෙම වැකිය, අගෝස්තු 1 වැනිදා මහර බන්ධනාගාරයෙන් ඇසුණු වෙඩි හඬත්, මරණයේ විලාපයත් සමඟ යළිත් වරක් වචන මාත්‍රයක් පමණක් බවට පත් විය. එක් රැඳවියෙකුගේ ජීවිතය අහිමි කරමින් සහ තවත් හත්දෙනෙකුට බරපතළ තුවාල සිදුකරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ලේ වැකි සිදුවීම, හදිසියේ හටගත් කෝලාහලයක් නොවේ. එය මාස ගණනාවක් තිස්සේ සැලසුම් සහගතව වර්ධනය වූ පීඩනයක, අමානුෂික පලිගැනීම්වල සහ දශක ගණනාවක් පුරා විසඳීමට අපොහොසත් වූ බන්ධනාගාර පද්ධතියේ ව්‍යුහාත්මක අර්බුදයක ඛේදනීය ප්‍රතිඵලයකි.

මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ කතාව නිල මාධ්‍ය නිවේදනවලින් වසන් කිරීමට උත්සාහ කළ ද, අභ්‍යන්තර ආරංචි මාර්ග, තොරතුරු දැනගැනීමේ පනත හරහා අනාවරණය කරගත් දත්ත සහ සිද්ධියට මුහුණ දුන් පාර්ශ්වයන්ගෙන් ලැබෙන තොරතුරු එක්තැන් කළ විට පෙනී යන්නේ මෙය පැහැදිලිවම මෙරට බන්ධනාගාර පද්ධතියේ ඇති පරිපාලනමය ගැටළු නිසා උද්ගතවූ තත්වයක් බවයි.

මීගමුවෙන් ඇරඹි පලිගැනීමේ දාමය.

මහර ගැටුමේ සැබෑ මූලය අවබෝධ කර ගැනීමට නම්, අප මීට පෙර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම හා ඉන් අනතුරුව ඇතිවූ තත්වය දෙසට අවධානය යොමුකල යුතුය. පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේදී බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඝාතනයට ලක්වීම, සමස්ත බන්ධනාගාර පද්ධතියම කම්පනයට පත් කළේය. එහෙත්, ඉන් පසු ඇති වූ තත්ත්වය ඊටත් වඩා භයානක විය. බන්ධනාගාර පොලිස් නිලධාරීන් සහ පාලනාධිකාරිය තම සගයන්ගේ මරණය සම්බන්ධයෙන් සාමාන්‍ය රැඳවියන් කෙරෙහි දැඩි වෛරයකින් සහ ක්‍රෝධයකින් පසු වූහ.

නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට ඔවුන් තෝරා ගත්තේ “පලිගැනීමේ” මාවතයි. මීගමුවෙන් මාරු කර යැවුණු රැඳවියන්ට අඟුණකොළපැලැස්සේදී සහ වැලිකඩදී අමානුෂික ලෙස පහර දීම් (නැව් ගුටි) සිදු වූ බවට තොරතුරු සමාජ ගතව ඇත. මේ බව නිළ වශයෙන් හෙලි නොකෙරුනද කටුක යථාර්තය එය බවට සමාජ මතයක් මේ වන විටත් ජනගත වී ඇත. මහර බන්ධනාගාරය ද මෙම පලිගැනීමේ යාන්ත්‍රණයේ ප්‍රධාන ගොදුරක් බවට පත් විය.

මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවේ සහ අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරි කළ බන්ධනාගාර පොලිස් නිලධාරීන් රැඳවියන්ගෙන් පලිගැනීම සඳහාම නව ‘අනියම් නීති’ මාලාවක් ගෙන එන ලදී. මනුෂ්‍යත්වයට නිගා දෙන මෙම නීති රැඳවියන්ගේ මානසිකත්වය මුළුමනින්ම බිඳ දැමීමට සමත් විය.

අමුත්තන් හමුවීමේ කාලය කප්පාදු කිරීම: තම ආදරණීයයන් දැකගැනීමට රැඳවියන්ට හිමිව තිබූ විනාඩි 10 ක සුළු කාලය අඩකින් කපා හැර, එය විනාඩි 5කට සීමා කිරීම.

ආහාර සීමා කිරීම: රිමාන්ඩ් සිරකරුවන්ට තම නිවෙස්වලින් ගෙනෙන ආහාර අනුභව කිරීමට නීතිමය අයිතියක් ඇත. අමුත්තන් නොඑන තවත් රැඳවියන් 10-15 දෙනෙකු සමඟ තම ආහාරය බෙදා හදා ගැනීමට වෙනදා ඔවුන්ට නිදහස තිබුණි. නමුත් නව නීති යටතේ නිලධාරීන් විසින් ආහාර ගෙන ඒම එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි දැඩි ලෙස සීමා කළේය. මෙමගින් අමුත්තන් නොඑන රැඳවියන් විශාල පිරිසක් පීඩාවට පත්විය.

මූලික සනීපාරක්ෂක ද්‍රව්‍ය අහිමි කිරීම: අම්පාර, මඩකලපුව වැනි දුර බැහැර ප්‍රදේශවල පදිංචි සිරකරුවන්ගේ ඥාතීන්ට ඔවුන් බැලීමට පැමිණිය හැක්කේ මාස තුන හතරකට එක් වතාවක් පමණි. ඒ එන විට ඔවුන් මාස ගණනාවකට සෑහෙන සබන් කෑලි 10-20 ක් සහ රේසර් 5 ක් පමණ රැගෙන ඒම සාමාන්‍ය සිරිතයි. එහෙත් බන්ධනාගාර පොලීසිය එය එකවරකට සබන් කෑලි 5කට සහ එක් රේසරයකට සීමා කළේය. ඉතා දුර බැහැර සිය ඥාතීන් සිටින රැඳවියන්ට මෙය මරු පහරක් විය.

දැඩි ශාරීරික පරීක්ෂා කිරීම්: ප්‍රධාන දොරටුවේදී සිදු කරන පරීක්ෂා කිරීම් හිතාමතාම දැඩි කරමින් රැඳවියන්ව මානසිකව පීඩාවට පත් කිරීම දෛනිකව සිදු විය.

රැඳවියන් විසින් මේ අසාධාරණය පිළිබඳව මහර ප්‍රධාන ජේලර්වරයා වෙත දැඩිව කරුණු සැලකර සිටියද, ඔහු කිසිදු සාධාරණ පියවරක් නොගෙන සම්පූර්ණයෙන්ම බන්ධනාගාර පොලිස් නිලධාරීන්ගේ පැත්ත ගැනීමෙන්, පද්ධතිය කෙරෙහි රැඳවියන් තුළ තිබූ අවසන් විශ්වාසය ද බිඳ වැටුණු බව දැනට වාර්තාවන තත්වයයි.

දිනෙන් දින වර්ධනය වූ මෙම අසාධාරණය අගෝස්තු 1 වැනිදා සවස වන විට එහි උපරිමයට ළඟා විය. එදින රැඳවියන්ගේ ඥාතීන් විසින් ගෙන ආ ආහාර පානවලින් විශාල ප්‍රමාණයක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව බන්ධනාගාර පොලිස් නිලධාරීන් විසින් හරවා යැවීම මෙම අවාසනාවන්ත සිදුවීමට ප්‍රධානතම හේතුවක් බවට පත්විය.

ආහාර අහිමි වීමෙන් සහ අඛණ්ඩ පීඩනයෙන් කෝපයට පත් රැඳවියන් මීට එරෙහිව දැඩි විරෝධයක් මතු කළහ. මීගමුව සිදුවීමෙන් භීතියට පත්ව සිටි බන්ධනාගාර නිලධාරීන්, තත්ත්වය සමනය කරනවා වෙනුවට රැඳවියන්ට කැමති දෙයක් කරගැනීමට ඉඩ හැර ප්‍රධාන දොරටුවෙන් එළියට පැමිණියහ. පාලනයක් නොමැති වූ විට, දැඩි පීඩනයකින් සිටි රැඳවියන් බන්ධනාගාර දේපළවලට අලාභහානි කිරීම ආරම්භ කළ අතර, තමන්ට කුරිරු ලෙස සැලකූ ප්‍රධාන ජේලර්වරයාගේ නිල කාමරය ද ඔවුන්ගේ දැඩි කෝපයට ඉලක්ක විය. අවසානයේදී එය පාලනය කිරීමට සිදු කළ වෙඩි තැබීම්වලින් එක් ජීවිතයක් අහිමි වී හත්දෙනෙකු රෝහල්ගත කෙරිණි.

බන්ධනාගාරවල සැබෑ අර්බුදය පාලකයන් නිවරදිව අවබෝධ කරගෙන තිබේද

හදිසියේ ක්‍රියාත්මක කල අනියම් නීති මහර ගැටුමට ආසන්න හේතුව වුවද, ඊට සැබෑ පසුබිම සකස් කළේ දරාගත නොහැකි තරමේ බන්ධනාගාර තදබදයයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රකාශයට අනුව, සිදුවීම වන අවස්ථාවේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 4,100 කට අධික පිරිසක් රඳවා සිට ඇත.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ අධිකරණ අමාත්‍යාංශයෙන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත මෙම ඛේදවාචකයේ බිහිසුණු බව මනාව පෙන්වා දෙයි. ජූලි 4 වන දින වන විට මෙරට ප්‍රධාන බන්ධනාගාරවල තත්ත්වය පහත පරිදි විය:
වැලිකඩ බන්ධනාගාරය: අනුමත ධාරිතාව 839 — සැබෑ රැඳවියන් 3,400
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය: අනුමත ධාරිතාව 328 — සැබෑ රැඳවියන් 2,782
මැගසින් බන්ධනාගාරය: අනුමත ධාරිතාව 499 — සැබෑ රැඳවියන් 3,046
මීගමුව බන්ධනාගාරය: අනුමත ධාරිතාව 496 — සැබෑ රැඳවියන් 2,403

2024 ජනවාරි වන විට සමස්ත බන්ධනාගාර ධාරිතාව 10,312 ක් වුවද, එය මේ වන විට වැඩිවී ඇත්තේ 10,801 ක් දක්වා පමණි. නමුත් එම කෙටි කාලය තුළ රැඳවියන් සංඛ්‍යාව 31,000 සිට 41,000 දක්වා, එනම් 10,000 කින් පමණ ඉහළ ගොස් තිබේ. අනුමත ධාරිතාව මෙන් පස් ගුණයකට ආසන්න පිරිසක් කුඩා සිරමැදිරි තුළ ගාල් කර තැබීම තුළින් ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදීම හෝ ආරක්ෂාව තහවුරු කිරීම කිසිසේත්ම කළ නොහැක්කකි.

අකාර්යක්ෂම යුක්ති පද්ධතිය සහ නීතියේ ප්‍රමාදය

මෙම තදබදයට ප්‍රධාන වගකිවයුත්තා වන්නේ අපරාධ යුක්ති පද්ධතියයි. 2025 දෙසැම්බර් 31 දත්ත අනුව, බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් වසරකට අඩු කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ය. ඉන් බහුතරයක් දින 14 ත් මාසයත් අතර කාලයක් රඳවා සිටින්නන් වේ.

තවද, 2026 මැයි 31 වන විට හුදෙක් රජයේ රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් පමණක් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සංඛ්‍යාව 15,607 කි. මත්ද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා දැනට භාවිත වන්නේ යන්ත්‍ර 5 ක් පමණක් වන අතර, තවත් යන්ත්‍ර 3 ක් මිලදී ගැනීමේ සැලසුම් තවමත් කඩදාසිවලට පමණක් සීමා වී ඇත. මෙම යන්ත්‍ර ලබා දී, වාර්තා කඩිනම් කළහොත් මෙම 15,000 න් අතිමහත් බහුතරයකට ඇප ලබා දී බන්ධනාගාර තදබදය සැළකිය යුතු ලෙස අඩු කළ හැකිය. ගොඩනැගිලි හිඟයට වඩා මෙහි ඇත්තේ ආකල්ප සහ පද්ධතියේ ව්‍යුහාත්මක ගැටලුවකි. රිමාන්ඩ් භාවිතය සීමා කිරීම, විකල්ප දඬුවම් ක්‍රියාත්මක කිරීම සහ නඩු විභාග කඩිනම් කිරීම මෙන්ම අධිකරණ වල සම්පත් හා සේවක හිඟයට විසඳුම් ලබාදීම වහා සිදු විය යුතුය.

තදබදය අවම කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇත්තෙන්ම ප්‍රමාණවත්ද යන කරුන ගැන අවධානය යොමුකිරීමේදී පෙනී යන්නේ, 2026 ජූලි 3 වනදා මැගසින් බන්ධනාගාරයෙන් 1,258 ක් පල්ලන්සේන කඳවුරටත්, 271 ක් බූස්සටත් මාරු කර යැවූ බවයි. ඒ අතරම 2025 දී පල්ලන්සේන නව දෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කෙරුණු අතර, අනෙකුත් ප්‍රධාන බන්ධනාගාරවල තාවකාලික ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. රුපියල් බිලියන 79 ක් වැය කරමින් කොළඹ බන්ධනාගාරය හොරණ මිල්ලෑව ප්‍රදේශයට ගෙනයාමේ දැවැන්ත ව්‍යාපෘතිය 2028 – 2033 දක්වා කාලසටහනකට යටත් කර ඇති අතර, ආයෝජකයින් සෙවීමේ අදියරේ පවතී. මේවා දීර්ඝකාලීන ව්‍යාපෘති විනා පවතින තත්වයට ක්ෂණිකව කල හැකි ප්‍රතිකර්ම නොවේ.

ඇත්ත තත්වය නම් වත්මන් රජය පාලන බලයට ඒමට පෙර වින්දිතයන් වෙනුවෙන්, පීඩිතයන් වෙනුවෙන් නැගූ හඩ සහ අද ඔවුන් පාලකයන් ලෙස කටයුතු කරන ආකාරය පිලිබදව ජනතාවට පැහැදිලිවම ප්‍රශ්ණකාරී බවක් ඇති බවයි. මහර ඛේදවාචකය යනු මීගමුව සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගැනීමට අපොහොසත් වූ පාලනාධිකාරියක අසාර්ථකත්වයේ ප්‍රතිඵලයකි. විෂයභාර අමාත්‍යවරයා , බන්ධනාගාර කොමසාරිස්වරයා, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බන්ධනාගාර පොලීසිය මෙම තත්ත්වය මැනවින් දැන සිටියහ. ඔවුන්ට ඇත්තම අවශ්‍යතාවයක් තිබුනා නම් රැඳවියන් ගැන මානුෂීයව සලකා මෙම ප්‍රශ්න විසඳාගැනීමට තිබුනි. නමුත් සිදුවූයේ අයුතු නීති ගෙනැවිත් ඔවුන්ට වධ හිංසා පමුණුවමින් බලය පෙන්වීමයි.

දැන්වත් සිරකරුවන් හට තාප්පයේ ලියවිල්ලට පමණක් සීමා නොවී සැබෑ “මනුෂ්‍යයන්” ලෙස සලකන්නට මේ සමාජයත්, නීතියත් සූදානම්ද? එය තීරණය වනු ඇත්තේ මීගමුවෙ සහ මහරින් වැටුණු ලේ බිඳුවලට ලැබෙන සාධාරණය මතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *