Post Views: 226 ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය යනු හුදෙක් වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන ස්ථානයක් පමණක් නොව, සියවසකටත් වඩා පැරණි ප්‍රචණ්ඩත්වයේ සහ ලේවැකි ගැටුම්වල තෝතැන්නක් බව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට මෑතකාලීන මීගමුව බන්ධනාගාර ඛේදවාචකය දක්වාම, පාලනාධිකාරියේ දුර්වලතා, දේශපාලන බලපෑම් සහ මානුෂීය අර්බුද හමුවේ සිරගෙවල් ලේ විලක් බවට පත් වූ අවස්ථා අපමණ ය. ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ ලේඛනගත වී ඇති පැරණිතම සහ දරුණුතම නොසන්සුන්තාව වාර්තා වන්නේ 1900 වසරේදී මහර බන්ධනාගාරයෙනි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ, මහර ප්‍රදේශයේ පිහිටි ගල්වළක බරපතළ වැඩ සහිත සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් පිරිසක් අතර මෙම කැරැල්ල හටගත්තේය. තත්ත්වය දැඩි ලෙස පාලනය කිරීම සඳහා එවකට සිටි සිංහල කාර්ය මණ්ඩලය වහාම ඉවත් කර, වඩාත් දැඩි පාලනයක් වෙනුවෙන් මැලේ ජාතික ආරක්ෂක භටයන් යෙදවීමට බ්‍රිතාන්‍ය පාලකයන්ට සිදු විය. 1971 මාර්තු මාසයේදී එවකට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක රෝහණ විජේවීර මහතා රඳවා සිටියේ ආරක්ෂාව අතින් ඉහළම මට්ටමක තිබූ යාපනය බන්ධනාගාරයේය. අප්‍රේල් 5 වන දින ජවිපෙ පළමු සන්නද්ධ අරගලය ආරම්භ වීමත් සමඟ, තම නායකයා මුදාගැනීම සඳහා කොළඹ සිට දුම්රියෙන් පැමිණි 150 කට අධික තරුණ කැරලිකරුවන් පිරිසක් ප්‍රියතිලක සහ පියසිරි යන අයගේ නායකත්වයෙන් යාපනයට ළඟා වූහ. ඔවුන් බස් රථයක් ද උපයෝගී කරගනිමින් අප්‍රේල් 5 රාත්‍රියේ බන්ධනාගාරය වෙත කඩා වැදී දරුණු ප්‍රහාරයක් එල්ල කළ ද, පොලිසිය සහ හමුදාව ඒකාබද්ධව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එම උත්සාහය ව්‍යර්ථ විය. ප්‍රහාරයෙන් කැරලිකරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර විශාල පිරිසක් අත්අඩංගුවට පත් විය. 1983 වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරය. මෙරට ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ සිදු වූ බිහිසුණුම මනුෂ්‍ය ඝාතනය වාර්තා වන්නේ 1983 ‘කළු ජූලි’ වාර්ගික කෝලාහල සමයේදීය. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමයේ, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල විය. ජූලි 25 සහ 27 යන දින දෙක තුළ අවස්ථා දෙකකදී බන්ධනාගාරයේම සිටි සිංහල රැඳවියන් පිරිසක් විසින් මෙහෙයවන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දෙමළ රැඳවියන් 53 දෙනෙකු සිරකුටි තුළදීම ඝාතනයට ලක් විය. 1987/1988 බෝගම්බර සහ මැගසින් ප්‍රහාර. 1987-1989 භීෂණ සමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV) විසින් සිය අත්අඩංගුවේ පසුවන සාමාජිකයන් මුදාගැනීම සඳහා බන්ධනාගාර ඉලක්ක කළේය. ඒ අනුව 1987 දී බෝගම්බර බන්ධනාගාරයටත්, 1988 දී මැගසින් බන්ධනාගාරයටත් ප්‍රහාර එල්ල විය. මැගසින් ප්‍රහාරයෙන් රැඳවියන් විශාල පිරිසක් පලා ගිය අතර, මෙම නොසන්සුන්තාව වැලිකඩ සහ පැලවත්ත කඳවුරු දක්වා ද ව්‍යාප්ත විය.1988 නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ දරුණු කැරැල්ලෙන් එහි කාර්යාල ගොඩනැගිලි මුළුමනින්ම ගිනිබත් විය.බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව, මැගසින් බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියන් ගණන 221 කි. පැලවත්ත සංක්‍රමණ කඳවුරෙන් පලාගිය රැඳවියන් ගණන 131 කි. 2000 බිඳුනුවැව ඝාතනය. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල පිහිටි බිඳුනුවැව පුනරුත්ථාපන කඳවුර තුළ 2000 ඔක්තෝබර් 25 වනදා තවත් ලේවැකි සිදුවීමක් වාර්තා විය. යුද සමයේදී අත්අඩංගුවට ගත්, ස්වෙච්ඡාවෙන් භාර වූ මෙන්ම එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට බලහත්කාරයෙන් බඳවාගෙන සිටි බාලවයස්කාර ළමුන් ඇතුළු පිරිසක් මෙහි රඳවා සිටියහ. ඔක්තෝබර් 24 වනදා රාත්‍රියේ රැඳවියන් විසින් කඳවුරේ පොලිස් මුරපොළට පහර දී හමුදා නිලධාරියෙකු තුවාල සිදු කිරීමත් සමඟ අවට ගම්වාසීහු කැළඹීමට පත් වූහ. පසුදින කඳවුර ඉවත් කරන ලෙස ඉල්ලා 3,000 කට අධික පිරිසක් විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක් මත 500 ත් 700 ත් අතර ප්‍රකෝපකාරී පිරිසක් කඳවුර තුළට කඩා වැදී රැඳවියන් කපා කොටා ඝාතනය කළහ. මෙම ප්‍රහාරයෙන් රැඳවියන් 27 දෙනෙකු මිය ගියහ. මෙම සිදුවීමට අදාළව පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරුණ ද, සාක්ෂි නොමැතිකම මත පසුව ඔවුන් සියල්ලන් නිදොස් කොට නිදහස් කෙරිණි. 2002 වසරේ තංගල්ල බන්ධනාගාර ගැටුම. තම නඩු ඉක්මන් කරන ලෙස ඉල්ලා සිරකරුවන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන බන්ධනාගාරයේ තිබූ ගිනි අවිද අත්පත් කර ගන්නා ලදී. දින දෙකක් පුරා පැවති අර්බුදය අතර වෙඩි හුවමාරුවක්ද සිදුවිය. මෙම සිදුවීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබීය. 2011 වසරේ පෙබරවාරි මස අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපාන ලද ජලගැලීම් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරයේ රැඳවුම්කරුවන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. මෙහිදී රක්ෂිත බන්ධනාගාර ගතව සහ බන්ධනාගාර ගතව සිටින 1,200 ක පමණ පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත යොමුකරන ලද අතර අනතුරුව ජල ගැලීම් තත්වය සමනය වීමෙන් පසුව යලි රැඳවියන් එහි රැගෙන එන ලදී. එම වසරේ මාර්තු මස බන්ධනාගාරයේ පහසුකම් ප්‍රමාණවත් නොවීම මත රැඳවියන් උපවාසයක් ආරම්භකල අතර එය පාලනය කිරීමට නිලධාරීන් තැබූ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලැබීය. 2012 වසරේ ජනවාරි 24 වන දින බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවයක් අතරතුර ප්‍රචණ්ඩකාරී ගැටුමක් හටගත්තේය. ආහාර ප්‍රශ්නයක් සහ බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ (LTTE) සැකකරුවන් පිරිසක් වෙනත් ස්ථානයකට මාරු කිරීමට එරෙහිව මෙම විරෝධතාව ඇරඹුණි. විරෝධතාව අතරතුර ඇතැම් රැඳවියන් බන්ධනාගාරය තුළ ගිනි තැබීම් සිදු කළ අතර, මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු පමණ තුවාල ලැබූහ. කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලද අතර, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව යෙදවීමට ද සිදු විය. 2012 වසරේ නොවැම්බර් 9 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම ආරම්භ වූයේ එදින කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුළු වූ 300 ක පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් සිරකුටි සෝදිසි කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමඟය. ඔවුන් සිර මැදිරිවල රඳවා සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීමට සැලසුම් කර තිබූ අතර, සිරකරුවන් ඊට විරෝධය දැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය දරුණු ගැටුමක් බවට පත් විය. මෙම සෝදිසි මෙහෙයුම අවසානයේ සිරකරුවන් 27 දෙනෙකු මිය ගිය අතර 40 කට අධික පිරිසක් තුවාල ලැබූහ. කොවිඩ් (COVID-19) භීෂණය සහ සිරගෙවල් නොසන්සුන්තාව. 2020 වසරේදී ලෝකයම වෙලාගත් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දරුණු කැරලි දෙකකට මඟ පෑදීය. 2020 මාර්තු 21 වන දින අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සිදු කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් පිරිසක් තුවාල ලැබූහ. කොරෝනා වෛරස් (COVID-19) රෝගියෙකු ලෙස සැකකෙරෙන රැඳවියෙකු එම බන්ධනාගාරයෙන් හඳුනා ගැනීමත් සමඟ රැඳවියන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. සිර මැදිරිවල සිටි පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රැඳවියෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර, තවත් සිව්දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. 2020 වසරේම මහර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයක් පාලනය කිරීමට තැබූ වෙඩි තැබීම්වලින් රැඳවියන් 11 දෙනෙකු මිය ගොස් 115 දෙනෙකු තුවාල ලැබූහ. මෑතකාලීන දරුණුතම ඛේදවාචකය වාර්තා වන්නේ පසුගිය ජූලි 05 සහ 06 දෙදින තුල සිදුවූ මීගමුව බන්ධනාගාර ගැටුමයි. බන්ධනාගාර ඉතිහාසයට අලුතින්ම එකතු වූ කළු පැල්ලම වු ජූලි 5 වන දින රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් බවට දැනට සඳහන්වන එම ගැටුම දුරදිග යාමෙන් දෙදෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලැබූහ. එදින රාත්‍රියේ තත්ත්වය සමනය කර රැඳවියන් සිරකුටි වෙත යැවීමට පාලනාධිකාරිය කටයුතු කළ ද, බන්ධනාගාර අධිකාරිය විසින් තත්ත්වයේ බරපතළකම වටහා නොගෙන නිසි ඉදිරි ආරක්ෂිත පියවර නොගැනීම නිසා ජූලි 6 උදෑසන නැවතත් බිහිසුණු ගැටුමක් හටගත්තේය. බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ඇතුළුව සමස්ත මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ යමින් එම ගැටුම කෙළවර විය. මෙරට බන්ධනාගාර ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වන ප්‍රධානතම කරුණ නම්, මෙම සෑම ගැටුමකටම මුල් වී ඇත්තේ දේශපාලනික, සෞඛ්‍ය, පරිපාලනමය හෝ මානුෂීය අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ගැටලු බවයි. සිරකරුවන්ද මනුෂ්‍යයන් බව නාමිකව ප්‍රකාශ කළද, බලයට පත් වූ කිසිදු රජයක් හෝ බන්ධනාගාර පාලනාධිකාරියක් මෙතෙක් සිරගෙවල්වල පවතින තදබදය, පහසුකම් අවම වීම සහ පරිපාලන දුර්වලතා සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දී නැත. සෑම අවස්ථාවකදීම ලේ වැගිරීම්වලින් පසු ලබා දෙන තාවකාලික පැලැස්තර විසඳුම් නිසා, මීගමුවෙන් නැවතුණු මෙම ලේවැකි ඉතිහාසය ඉදිරියේදීත් තවත් තැනකින් ලියැවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. Post navigation බෝගම්බර නැවත විවෘත කිරීමේ තීරණය ආන්දෝලනයක. මහනුවර වායු දූෂණය සහ බන්ධනාගාර තදබදය යළි කරළියට.