Post Views: 169 ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දැනට පවතින දැඩි තදබදයට කඩිනම් විසඳුමක් ලෙස ඓතිහාසික පැරණි බෝගම්බර බන්ධනාගාරය නැවත ස්ථාපනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර ඇත. බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ. මීට සමගාමීව පසුගිය 07 වැනිදා ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ පිහිටි පැරණි රෝහල් පරිශ්‍රය ද නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි. කෙසේ වුවද, බෝගම්බර බන්ධනාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට ගත් මෙම තීරණයත් සමඟ මහනුවර නගරයේ පාරිසරික සහ නාගරික සැලසුම්කරණය පිළිබඳ බරපතළ ගැටලු කිහිපයක් සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. ලෝක පරිසර සංවිධාන සහ පර්යේෂණ ආයතන පෙන්වා දෙන පරිදි, භූගෝලීය පිහිටීම (මිටියාවතක පිහිටා තිබීම) සහ අධික වාහන තදබදය හේතුවෙන් මහනුවර යනු මෙරට වායු දූෂණයෙන් ඉහළම මට්ටමක පවතින ප්‍රමුඛතම නගරයකි. මේ හේතුවෙන් එදිනෙදා නගරයට පැමිණෙන ජනගහනය සහ වාහන සංඛ්‍යාව සීමා කිරීම සඳහා පසුගිය රජයන් විසින් විධිමත් සැලසුම් සකස් කරන ලදී. එහි මූලික පියවරක් වූයේ නගරයේ පවතින ප්‍රධාන රාජ්‍ය ආයතන පල්ලෙකැලේ ප්‍රදේශය වෙත ගෙන යාමයි. එම දීර්ඝකාලීන නාගරික සැලසුමේ ප්‍රතිඵලයක් ලෙස වසර 138 ක ඉතිහාසයකට උරුමකම් කී බෝගම්බර බන්ධනාගාරය 2014 ජනවාරි මස 01 වන දින නිල වශයෙන් වසා දැමුණු අතර, එහි සිටි රැඳවියන් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවුණි. අක්කර 13 ක භූමියක, එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණගේ ඔටුන්න ආකෘති කර ගනිමින් ප්‍රංශයේ බැස්ටිල් කොටුවට සමානව ඉදිකර තිබූ මෙම ඓතිහාසික ගොඩනැඟිල්ල පසුව සංචාරක ආකර්ෂණය සඳහා මහජන ප්‍රදර්ශනයට පමණක් විවෘත කර තැබීමට පියවර ගැනුණි. එමඟින් මහනුවර නගර මධ්‍යයේ වාහන තදබදය සහ මිනිසුන් ගැවසීම විශාල ලෙස අඩු කර ගැනීමට හැකි වූ නමුත්, වත්මන් රජය එම ක්‍රියාවලිය නැවත ආපසු හැරවීමට කටයුතු කිරීම නුදුරු අනාගතයේදී මහනුවර නගරයට දරාගත නොහැකි පාරිසරික හා නාගරික ගැටලු රැසක් නිර්මාණය කරනු ඇතැයි විද්වතුන් අනතුරු අඟවයි. බන්ධනාගාර තදබදයට පිළියමක් ලෙස සහ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින බන්ධනාගාර නගරයෙන් බැහැර කිරීමේ අරමුණින් පසුගිය රජයන් විසින් හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ නවීන පහසුකම් සහිත බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකිරීමට පියවර ගෙන තිබුණි. ඒ සඳහා මූලික කටයුතු සහ සැලසුම් රැසක් නිම කර තිබූ නමුත්, පාලන තන්ත්‍රයේ වෙනස් වීමත් සමඟ වත්මන් රජය එම මහා පරිමාණ ව්‍යාපෘතිය අතහැර දැමීමට තීරණය කර ඇත. මිල්ලෑව වැනි විකල්ප සහ ඉඩකඩ සහිත ව්‍යාපෘති අතහැර, යළිත් නගර මධ්‍යයේ පිහිටි පැරණි සිරගෙවල් වෙත රැඳවියන් ගෙන ඒමට තීරණය කිරීම ප්‍රශ්නාර්ථයකි. මෙරට බන්ධනාගාර පද්ධතියේ ධාරිතාවය ඉක්මවා රැඳවියන් පිරීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සැකකරුවන්ගේ සංඛ්‍යාව අධික වීමයි. නීති අංශ පෙන්වා දෙන පරිදි, සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහුට ඇප ලබාදිය හැකි සුළු වැරදි සම්බන්ධයෙන් පවා පොලීසිය විසින් ඇප දීමට විරුද්ධත්වය පළ කිරීම සාමාන්‍ය සිරිතක් වී ඇත. මේ තත්වය නිසා නඩුවක් විභාග කර අවසන් වන තෙක් බොහෝ සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදුවීම තුළින් පද්ධතියේ දැඩි තදබදයක් නිර්මාණය වේ. රඳවන්නන්ගේ ඉඩකඩ ප්‍රශ්නයට විසඳුම පැරණි සිරගෙවල් යළි විවෘත කිරීම හෝ ඓතිහාසික ගොඩනැගිලි සිරකුටි බවට පත් කිරීම නොව, රටේ ඇප දීමේ නීතිමය ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම බව පාලකයින් වටහා ගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත්, බෝගම්බර නැවත විවෘත කිරීම හරහා බන්ධනාගාර ප්‍රශ්නය තාවකාලිකව යටපත් වුවද, මහනුවර නගරය පාරිසරික වශයෙන් දැඩි අනතුරකට ඇද වැටීම වැළැක්විය නොහැකි වනු ඇත. Post navigation කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට.