මාතලේ ප්‍රදේශයේ පාසලකට දරුවෙකු ඇතුළත් කරගැනීම සඳහා විදුහල්පතිනියක විසින් ලිංගික අල්ලස් ඉල්ලූ බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත සම්බන්ධයෙන් SMN24NEW සොයාබැලීමක් සිදුකල අතර එහිදී පෙනී ගියේ එවන් ආකාරයේ සිදුවීමක් සම්බන්ධව මෙතෙක් කිසිදු පාර්ශවයකින් නිල පැමිණිල්ලක් හෝ තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

මේ පිළිබඳව අප විසින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කැළුම් තාරක වානගුරු මහතා ව දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර ඒ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය විදුහල්පති සාමාජිකයන් 3500 කට අධික පිරිසක් සාමාජිකත්වය දරන සංගමයක් වන අතර විදුහල්පති සේවය සම්බන්ධව සමාජයේ යම් ගැටළුකාරී තත්වයක් ඇතිවුව හොත් ඒ සම්බන්ධයෙන් නිරන්තරව සොයාබැලීමක් කරන බවයි.
ඒ අනුව, අදාල සමාජ මාධ්‍ය පුවත සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් මෙන්ම මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ද විමසීමක් කල බවත් එම කිසිදු ස්ථානයකට මෙවන් සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කල බවත් ය.

එමෙන්ම මේ පිළිබදව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අමතා කළ විමසීම්වල දී මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ප්‍රදේශයේ පොලිස් ස්ථාන 13 වෙත ලැබී නොමැති බව තහවුරු වූ බවත් වානගුරු මහතා පැවසීය.

තවද, මාතලේ අධ්‍යාපන කලාපයේ පිහිටි බාලිකා පාසල් 5 (බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් පාසල්) අතුරින් විදුහල්පතිනියන් සේවය කරන්නේ විදුහල් හතරක පමණක් බවත් එම පාසල් සම්බන්ධව කල සොයා බැලීම් වලදී පවා අනාවරණය වූයේ මෙවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් ය. එබැවින් මෙය යම් පෞද්ගලික හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් විදුහල්පති සේවය සහ සමස්ත පාසල් පද්ධතිය අපකීර්තියට පත් කිරීම සඳහා පතුරුවන ලද අසත්‍ය ප්‍රචාරයක් බවට විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ වානගුරු මහතා, ඇත්ත වශයෙන්ම සිදුවූ සිදුවීමක් තිබේනම් සංගමයක් ලෙස ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සම්පූර්ණ සහය දෙන නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් කාන්තා විදුහල්පතිවරියන්ගේ සහ විදුහල්පති සේවයේ ගෞරවයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර ඇති බවත් සංගමයේ ලේකම් කැළුම් තාරක වානගුරු මහතා පැවසූ අතර එම නිවේදනය පහතින් දක්වා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *