Post Views: 296 බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර පල්ලේගම හේමරතන හිමි, අධිකරණ විනිසුරුවරුන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළුවන සහ පිටව යන දොරටුවෙන් අධිකරණ භූමියට පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාළ විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ධර්මසිරිට නියෝග කළේය. සැකකාර හිමි නමට එරෙහිව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව අද (21) යළි කැදවු අවස්ථාවේ නීතීඥ චානක අබේවික්‍රම අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරන ලදී. අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට මුල් පැමිණිල්ල සිදුකළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක අබේවික්‍රම අධිකරණයෙන් විමසා සිටියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට සාමාන්‍ය ජනතාව පොලිසිය විසින් සෝදිසි කිරීම් කොට ඇතුළු කර ගන්නා ප්‍රධාන දොරටුව මගහැර සැකකාර හිමියන් විශේෂ දොරටුවකින් හොර රහසේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ කෙසේද යන්නයි. සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අධිකරණ භූමියට ඇතුළු වී තිබෙන්නේ අධිකරණ විනිසුරුවරුන් ඇතුළුවන සහ පිටව යන විශේෂ දොරටුවෙන් බව ද ප්‍රකාශ කළ නීතීඥවරයා එම විශේෂ දොරටුවෙන් අධිකරණ භූමියට සැකකාර හිමිනම රැගෙන විත් ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයකින් බව ද අධිකරණය හමුවේ කියා සිටියේය. මෙවැනි විශේෂිත වරප්‍රසාද සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ලබාදී ඇත්තේ සැකකරු අධිකරණ විනිසුරුවරයෙකු නිසා දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා මෙය බරපතළ තත්ත්වයක් බව ද කියා සිටියේය. සැකකාර හිමිනම කිසිදු සෝදිසි කිරීමකින් තොරව විශේෂ දොරටුවකින් අධිකරණ භූමියට ඇතුළු කිරීම පිළිබදව වගකීම පොලිසිය භාර ගත යුතු බව ද අවධාරණය කළ නීතීඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිය ඉදිරියේ සැවොම එක හා සමාන බව ද නීතීඥවරයා අවධාරණය කළේය. නීතීඥවරයාගේ කරුණු දැක්වීම සැළකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිය විනිසුරු අසුනේ සිට ම අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ධර්මසිරිට නියෝග කළේ, ඒ මොහොතේම විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසයි. එම නියෝගයට අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විවෘත අධිකරණයේ පෙනී සිටි අතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුට නියෝග කළේ, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අද (21) දින නඩුවට පෙනී සිටිම සඳහා අනුරාධපුර අධිකරණ භූමියට විශේෂ දොරටුවකින් ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සහ ඒ හිමියන් අද දින අධිකරණයට පැමිණියේ කෙසේද යන්න පිළිබදව විමර්ශනය කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. Post navigation මාතලේ විදුහල්පතිනියකගේ ලිංගික අල්ලස් සිද්ධියේ හෙලිනොවුන ඇත්ත.