වර්තමානයේ පවතින ඉන්ධන සම්බන්ධ සීමාකිරීම් සහ ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල කලගත කිරීමට සිදුවීම නිසා සමහර අය තමන්ගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානවල අමතර ඉන්ධන යම් ප්‍රමාණයක් ගබඩා කරගෙන තබාගැනීමට කටයුතු කරන බව පෙනීයනවා. පසුගිය දිනවල රටේ දෛනික ඉන්ධන අලෙවි දත්ත පිරික්සීමේදී පෙනී යන්නේ සාමාන්‍ය පරිභෝජනයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉන්ධන හල්වලින් ජනතාව වෙත නිකුත් කර තිබෙන බවයි. ඒ අනුව දෛනික පරිභෝජනයෙන් පරිබාහිරව අනාරක්ෂිතව ඉන්ධන ගබඩා කිරීම සිදුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථා වාර්තා සදහන් කරයි.

මේ ආකාරයට ඉන්ධන ගබඩා කර ගැනීම එක පැත්තකින් නීතී විරෝධී කටයුත්තක් වගේම තවත් පැත්තකින් බරපතල අවධානම් කටයුත්තක්. ඉන්ධන රැස්කරන ගොඩක් දෙනෙක් මේ ගැන වැඩිය හිතන්නෙ නැහැ. ඒක නිසා මේ දේවල් ගැන දැනුවත් වී කටයුතු කරන්න.

කල් ඉකුත්වීම.
පෙට්‍රල් වගේම ඩීසල් කියන්නේ කාලයත් එක්ක අනිවාර්යයෙන්ම කල් ඉකුත් වෙන දේවල්.
​පෙට්‍රල් සාමාන්‍යයෙන් හොඳ තත්වයේ තියාගන්න පුලුවන් උපරිම මාස 3ත් 6ත් අතර කාලයක් විතරයි කියලා තමයි පර්යේෂණ වලින් තහවුරු වෙලා තියන්නෙ. ඊට පස්සේ වාෂ්ප වෙලා, රසායනිකව වෙනස් වෙලා උකු ගතිය වැඩිවෙනවා. මේ පරණ තෙල් පාවිච්චි කළොත්, විශේෂයෙන්ම වටිනාකමින් වැඩි නවීන සහ SUV වාහන වල එන්ජිමේ ඉන්ජෙක්ටර් සහ ෆිල්ටර් වලට ලොකු හානියක් වෙන්න පුළුවන්.

​ඩීසල් ගත්තොත් සාමාන්‍යයෙන් මාස 6ක් 12ක් වගේ තියාගන්න පුළුවන්. හැබැයි බැරල් වල හරි කෑන් වල හරි තියද්දී ඇතුළේ වතුර වාෂ්ප බැඳිලා, ඒකෙ බැක්ටීරියා හැදිලා ඩීසල් නරක් වෙන එක තමයි ප්‍රධානම ප්‍රශ්නය.

ගිනි අවධානම.
​ඒ වගේම ගෙදරක හරි ව්‍යාපාරික ස්ථානයක (ඔෆිස් එකක හරි ෂෝරූම් එකක හරි) මේ විදියට තෙල් ගබඩා කරලා තියෙද්දී ගින්නක් ආවොත්, ඉන් සිද්ධවෙන හානිය සාමාන්‍ය තත්වයකට වඩා වැඩි වෙනවා වගේම දේපළ රක්ෂණය කර තිබුනොත් ඒ සඳහා වන රක්ෂණ වන්දිය (Insurance Claim) ප්‍රතික්ෂේප කිරීමටත් අදාල රක්ෂණ ආයතනය කටයුතු කරනවා. ඒකට ප්‍රධානම හේතු තමා,
​අවදානම වෙනස් කිරීම (Alteration of Risk): සාමාන්‍ය ගෙදරකට හෝ ව්‍යාපාරික ස්ථානයකට දෙන රක්ෂණ ඔප්පුවෙන් තෙල් ගබඩා කිරීමේ අවදානම ආවරණය කරන්නේ නෑ. තෙල් කියන්නේ අතිශයින් ගිනිගන්නා සුලු දෙයක්. රක්ෂණ සමාගමට දැනුම් දෙන්නේ නැතුව මේවා තියාගැනීම රක්ෂණ කොන්දේසි උල්ලංඝනය කිරීමක්.
​නීති විරෝධී ගබඩා කිරීම: ලංකාවේ නීතිය අනුව පෙට්‍රල් හෝ ඩීසල් තොග වශයෙන් ගබඩා කරන්න විශේෂ බලපත්‍ර (Licenses) ඕනෑ. ඒ බලපත්‍ර නැතුව තියාගෙන ඉද්දි ගින්නක් වුණොත්, ඒක නීති විරෝධී ක්‍රියාවක් නිසා රක්ෂණ සමාගම වන්දි ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා.
​ගින්න ඇතිවුණේ ෂෝට් සර්කිට් එකකින් වගේ වෙනත් හේතුවක් නිසා වුණත්, ගබඩා කරලා තිබුණු තෙල් නිසා ගින්න වේගයෙන් පැතිරුණා කියලා ඔප්පු වුණොත් කිසිම වන්දියක් ලැබෙන්නේ නෑ.

නීතිය.
වැදගත්ම කාරණාව තමයි. මෙසේ ඉන්ධන ගබඩා කරගෙන තිබීම නීතී විරෝධී කටයුත්තක්. අනවසරයෙන් ඉන්ධන ගබඩා කිරීම ලංකාවේ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. පොලීසිය සහ ආරක්ෂක අංශ මේ පිළිබඳව දැඩි සෝදිසියෙන් පසුවන අතර, අධිකරණ ක්‍රියාමාර්ග හරහා විශාල දඩ මුදල් හෝ සිරදඬුවම් හිමිවීමට ඉඩ ඇත.

ඉතිං ඒක නිසා කිසිම වෙලාවක ඉන්ධන තොග රැස්කරලා තියාගන්න එපා. මොකද පවුලේ සාමාජිකයන් ඉන්න ගෙදරක් එහෙම නැත්නම් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මේ වගේ ඉන්ධන තොගයක් නිසා සම්පූර්ණ අවදානමකට ලක් කරන එක කොහෙත්ම නුවණට හුරු වැඩක් නෙමෙයි. මොකද ගින්නක් ඇති වුණොත් දේපළත් විනාශ වෙලා, රක්ෂණ වන්දියත් නැති වෙලා යනවා විතරක් නෙමෙයි ජීවිත පවා අවදානමට ලක් වෙනවා. හදිසියකට යැයි සිතා ඔබ රැස්කරන ඉන්ධන ලීටර කිහිපය, දශක ගණනාවක් මහන්සියෙන් ඉපයූ ඔබේ දේපළත්, වටිනා ජීවිතත් අළු කර දැමීමට සමත් විය හැකිය. එබැවින් බුද්ධිමත් වන්න, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වැළකී ඔබේත්, පවුලේත් ආරක්ෂාව තහවුරු කරගන්න.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *