Post Views: 138 2022 වසරේ ජූලි මාසයේදී අරගලකරුවන් විසින් ජනාධිපති මන්දීරය වටකල අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් SLNS ගජබාහු නෞකාව යොදාගනිමින් පලා යාම සම්බන්ධව තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ශ්‍රී ලංකා නාවික හමුදාවට යොමු කළ තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගියදා (19) තීන්දුවක් ලබාදෙන ලදී. මෙම මූලික තොරතුරු ඉල්ලීම 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී ඒ. ඒ. එම්. ආර්. අලි යන අය විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට යොමු කර නැවේ නම, ගමන් කාලය සහ ගමන් ප්‍රදේශ, හිටපු ජනාධිපතිවරයා සමග පැමිණි අයගේ නම්, නාවික හමුදාව විසින් දරන ලද මුළු පිරිවැය සහ ගමන සඳහා ගෙවීමේ මූලාශ්‍රය ඇතුළු තොරතුරු අටක් ඉල්ලා තිබේ. නමුත්, ජාතික ආරක්ෂාවට හානි කළ හැකි තොරතුරුවලට අදාළ තොරතුරු පනතේ 5(1)(b)(i) වගන්තිය උපුටා දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මුලින් 2022 නොවැම්බර් මාසයේදී සම්පූර්ණ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. පසුව ඉල්ලුම්කරු මෙම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනය කර ඇත. 2023 දී මෙම අභියාචනය විභාග කිරීමෙන් පසුව, කොමිසම 2023.08.29 දින තීන්දු කර ඇත්තේ, 1 සිට 5 දක්වා සහ 8 වන ඉල්ලීම්වලට අදාළ තොරතුරු නාවික හමුදාව ප්‍රතික්ෂේප කිරීම තහවුරු කරන නමුත්, 6 සහ 7 වන ඉල්ලීම්වල සඳහන් තොරතුරු, විශේෂයෙන්, ගමන් වියදම සහ ඒ සඳහා මුදල් ගෙවූ අය පිළිබඳ තොරතුරු නිකුත් කරන ලෙස ය. එම ඉල්ලීම් දෙකට අදාළ තොරතුරු නිදහස් කිරීමට කොමිසම දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නාවික හමුදාපතිවරයා විසින් අභියාචනයක් ගොනු කර තිබිණි. එකී අභියාචනාවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර සහ ආර්. ගුරුසිංහ විසින් සදහන් කර ඇත්තේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ 2023.08.29 දිනැති නියෝගය තහවුරු කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, අභියාචනය ප්‍රතික්ෂේප කරනු ලබන බවයි. එමෙන්ම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළ හැකි බවට පෙන්වා දී තිබෙන කරුණු දැනටමත් නැව් නිෂ්පාදකයන් හට ගණනය කිරීමට හැකි බැවින් සහ ඒවා දැනටමත් පොදු අවකාශයන් තුළ ඇති බැවින් එම තොරතුරු ආරක්ෂා කළ යුතු ඒවා නොවන බව අධිකරණයේ මතය ලෙස තීන්දුවේ සඳහන් වේ. මේ අනුව, තොරතුරු නිකුත් නොකිරීමට අභියාචකයා විසින් ලබා දී ඇති හේතුව අසතුටුදායක වන අතර එය පිළිගත නොහැකි බව ද එහි සඳහන් ය. මෙම තොරතුරු ඉල්ලීමේ ඉල්ලා සිටින සංඛ්‍යාලේඛන සහ ජාතික ආරක්ෂාව අතර තරමක් තාර්කික සම්බන්ධයක් තිබෙන බවට අධිකරණය දකින නමුත්, ජාතික ආරක්ෂාව අනතුරේ පවතින බව ප්‍රකාශ කිරීම, තොරතුරු රඳවා තබා ගැනීම සඳහා “ආවරණයක්” නොවන බවට අධිකරණය නිරීක්ෂණය කරන බවට තීන්දුවේ සඳහන් වේ. දැනට පවතින නඩුවේදී, නාවික ගමන් වියදම් හෙළිදරව් කිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ ජාතික ආරක්ෂාවට ඇති සැබෑ අගතිය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පෙන්වීමට පෙත්සම්කරු අසමත් බව ද එහි සඳහන් ය. තවද, පනතේ 5 (4) වගන්තිය යටතේ, සිදුවන හානියට වඩා මහජන යහපත බරින් වැඩි නම්, එම තොරතුර හෙළිදරවු කළ යුතු බව ද නඩු තීන්දුවේ එම වගන්තිය උපුටා දක්වමින් සඳහන් කර තිබේ.ඒ අනුව මේ සියල්ල සලකා බලමින්,තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදනවලට ප්‍රකාරව ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ඉතා සංවේදී තොරතුරු පුරවැසියන් වෙත නිකුත් නොකර සිටීමට පොදු රාජ්‍ය අධිකාරියකට බලය තිබෙන බවයි. එහෙත් තොරතුරු පනත යටතේ තොරතුරු හෙළිදරව් කිරීම නීතිය බවත් එහි ව්‍යතිරේකය වන්නේ එය ප්‍රතික්ෂේප කිරීම බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය. නමුත් එවැනි තොරතුරු හෙළිදරව් නොකර සිටීමට නම් ජාතික ආරක්ෂාවට සැබෑ හෝ හඳුනාගත හැකි අගතියක් සිදුවන බව ඔප්පු කළ හැකි ප්‍රබල කරුණු පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නමුත් මෙම නඩුකරය සම්බන්ධයෙන් සලකා බැලීමේදී අදාළ ගමන් වියදම් හා ඒවා ගෙවූ අය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට බලපෑමක් සිද්ධවන්නේ කෙසේදැයි ඔප්පු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය අසමත් වී තිබෙන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය. එවැනි නිශ්චිත සාක්ෂි නොමැති අවස්ථාවක තොරතුරු පනතේ සීමා කිරීම්වලට මුවා වී අදාළ තොරතුරු මුදා නොහැර සිටීමට හැකියාවක් නොමැති බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර තිබේ. ඒ අනුව තොරතුරු කොමිසම විසින් 2023 වසරේ අගෝස්තු මස 29 වනදා නිකුත් කළ නියෝගය තමන් තහවුරු කරන බවත් නාවික හමුදාව විසින් ඉදිරිපත් කළ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල අවසානයේදී සිය තීන්දුවෙන් සඳහන් කළේය. Post navigation ඔබත් හදිසියට ගන්න ඉන්ධන ගබඩා කරගෙන ඉන්නවද මේ ගැන දැනුවත් වෙන්න. 162 වන පොලිස් විරු දින සැමරුම ගෞරවාන්විතව සිදු කෙරේ.