“තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ” “අවැසි පමණට සැමට සෙවණත” යන තේමාව යටතේ මෙවර පවත්වන ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයිනම ආවරණය වන පරිදි මහල් නිවාස හා නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි ජීවත්වන දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවය සහ ළමා ආකල්ප වර්ධනය කිරීම සඳහා ලෝක ජනාවාස දින ළමා නර්තන තරගාවලිය පැවැත්වුණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) මෙහෙයවීමෙන් පැවති මෙම නර්තන තරගාවලියේ අවසන් අදියර අද (27) පැවැත්වුණේ බත්තරමුල්ල සුහුරුපාය කාර්යාල සංකීර්ණයේ 19 වන මහලේ පිහිටි ප්‍රධාන ශ්‍රවණාගාරේදී ය.

සාම්ප්‍රදායික සහ නිර්මාණාත්මක වශයෙන් තරග ශීර්ෂ දෙකක් යටතේ සමූහ නර්තන තරගයක් ලෙස පැවති මෙම නර්තන තරගාවලියේ පළමු වටය සඳහා මහල් නිවාස නියෝජනය කරමින් කණ්ඩායම් 32ක් සහ ජනාවාස නියෝජනය කරමින් කණ්ඩායම් 13 ක් ලෙස සමස්ත කණ්ඩායම් 45 ක් සහභාගි විය. මෙහි පළමු අදියරේ නර්තන තරග පසුගිය 12 වන දින පැවති අතර එහි දෙවන අදියර නර්තන කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් අද දින පැවැත්වුණි.

මෙම කණ්ඩායම් 20 අතරින් ලකුණු ලබා ගත් පිළිවෙල අනුව සාම්ප්‍රදායික සහ නිර්මාණාත්මක දෙඅංශයෙන් වෙන් වෙන් වශයෙන් හොඳම ස්ථාන තුනක් විශේෂ කුසලතා කණ්ඩායම් 03 ක් සහ කුසලතා කණ්ඩායම් 04 ක් තෝරාගනු ලැබු අතර දෙඅංශයෙන්ම වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් තුනෙහි නර්තනාංග 2026 ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *