Post Views: 193 වසර හතකට ආසන්න කාලයක් මෙරට දේශපාලන සහ සමාජයීය කතිකාවතේ උච්චස්ථානයක් ගත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන වත්මන් රජය යටතේ යම් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවල තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පියවර ගෙන ඇත. ඊයේ (මාර්තු 05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් කරුණු වාර්තා කරමින් CID නිලධාරීන් මේ බව නිල වශයෙන් දැනුම් දුන්නේය. “ප්‍රමාණවත් සාක්ෂි ඇත” – CID අධිකරණයට දන්වයි පසුගිය පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ මහතා, මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් සිටී. අදාළ නඩු වාරයේදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විමසා සිටියේ මොහු සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබේද යන්නයි. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කළේ මෙතෙක් සිදු කළ දීර්ඝ විමර්ශන මගින් ඔහු සැකකරුවකු ලෙස නම් කිරීමට අවශ්‍ය සාක්ෂි හමු වී ඇති බවයි. ඒ අනුව රැඳවුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ නිරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසත් මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.මෙම විමර්ශනය හුදෙක් පාස්කු බෝම්බ ප්‍රහාරයට පමණක් සීමා නොවී, ඊට පෙරහුරුවක් ලෙස සැලකෙන වවුනතීවු පොලිස් නිලධාරීන් ඝාතනය සහ සයින්දමරදු බෝම්බ පිපිරීම වැනි සිදුවීම් ගණනාවක් දක්වා විහිදී යන බව වාර්තා වේ. සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. මේ අතර, සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. පෙත්සම්කරුගේ තර්කය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගත යුත්තේ රටේ ඒකීයභාවයට හානි කරන හෝ රජය පෙරළා දැමීමට තැත් කරන පුද්ගලයන්ට එරෙහිව පමණක් බවයි. පාස්කු ප්‍රහාරය ආගමික දෘෂ්ටිවාදයක් මත පදනම් වූවක් බවත්, සලේ මහතාට එරෙහිව මෙතෙක් අධිකරණයට නිසි සාක්ෂි ඉදිරිපත් කර නැති බවත් පෙත්සමේ සඳහන් වේ. පිල්ලෙයාන්ගෙන් ද ප්‍රශ්න කෙරේ පාස්කු විමර්ශනවලට සමගාමීව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ද මේ වන විට CID භාරයේ රැඳවුම් නියෝග මත සිටී. මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත්තද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඔහුගෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන කණ්ඩායම් උත්සාහ කරමින් සිටියි. මෙම තත්වය සැලකිල්ලට ගැනීමේදී වත්මන් පරීක්ෂණ යම් නිශ්චිත අරමුණක් වෙත ගමන් කරන ආකාරයක් දැකිය හැකියි. විශේෂයෙන්ම මීට පෙර පැවති පරීක්ෂණ සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් මූලිකවම අවධානය යොමු වූයේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ “නොසැලකිල්ල” (Negligence) පිළිබඳවයි. එහෙත් වත්මන් විමර්ශනවලදී “කුමන්ත්‍රණය” (Conspiracy) සහ “ප්‍රහාරයට සෘජු සම්බන්ධතා” පැවති පුද්ගලයන් සොයා යාම දක්වා පරීක්ෂණ පුළුල් වී තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් විමර්ශන පවත්වා දඬුවම් පැමිණවිය යුතු පාර්ශව කිහිපයක් නම් කළ අතර, එහිදී, දේශපාලන සහ පරිපාලන වගකීම පැහැර හැරීම මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සාපරාධී නොසැලකිල්ල යටතේ නඩු පැවරිය යුතු බව නිර්දේශ විය. ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව සිවිල් සහ අපරාධ යන අංශ දෙකෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී. එහිදී, 2023 ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුවක් මගින් ප්‍රකාශ කෙරුණේ, ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් මොවුන් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. ඒ වෙනුවෙන් ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා වන්දි වශයෙන් එක් එක් අයවළුන් පහත සඳහන් පරිදි වන්දි මුදල් වින්දිතයන්ගේ අරමුදලක් වෙත ගෙවන ලෙස නියම විය.මෛත්‍රීපාල සිරිසේන (හිටපු ජනාධිපති): රුපියල් මිලියන 100පූජිත් ජයසුන්දර (හිටපු පොලිස්පති): රුපියල් මිලියන 75හේමසිරි ප්‍රනාන්දු (හිටපු ආරක්ෂක ලේකම්): රුපියල් මිලියන 50නිලන්ත ජයවර්ධන (හිටපු බුද්ධි ප්‍රධානී): රුපියල් මිලියන 75සිසිර මෙන්ඩිස් (හිටපු ජාතික බුද්ධි ප්‍රධානී): රුපියල් මිලියන 10 මෙයට අමතරව, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව “මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට අනුබල දීම” සහ “සාපරාධී නොසැලකිල්ල” යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පවරන ලද නමුත් 2022 වසරේදී කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම දෙදෙනාම නිදහස් කිරීමට නියෝග කරන ලදී. එහිදී විනිසුරුවන් සිය තීන්දුවේ සඳහන් කලේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි මගින් ඔවුන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවයි. කෙසේ වෙතත්, වත්මන් විමර්ශන හරහා, මෙම පුද්ගලයන්ගේ “නොසැලකිල්ලට” එහා ගිය “කුමන්ත්‍රණකාරී සම්බන්ධතාවයක්” තිබේද යන්න නැවත විමර්ශනය වෙමින් පවතින අතර 2018 නොවැම්බර් 30 වැනිදා මඩකලපුව, වවුනතීවු පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අභිරහස් ලෙස ඝාතනය කර ඔවුන්ගේ ගිනි අවි පැහැරගෙන යාම පාස්කු ප්‍රහාර මාලාවේ “පෙරහුරුවක්” හෝ එහි ආරම්භක අවස්ථාවක් ලෙස විමර්ශන අංශ විසින් සලකනු ලබයි. මෙම සිද්ධිය සහ සුරේෂ් සලේ මහතා අතර ඇති සම්බන්ධය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ වශයෙන් කරුණු විමර්ශණය කර ඇත. ඒ අනුව, වවුනතිව් ඝාතන සිද්ධිය හරහා රට තුළ අස්ථාවරත්වයක් ඇති කර, ඉන් පසුව සිදුවූ පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීමට සහාය වූ බවට සලේ මහතාට එරෙහිව සැකයක් මතු වී ඇති බවත් ඒ අනුව තව දුරටත් විමර්ශණ සිදුවන බවත් කරුණු අණාවරණය වේ. Post navigation Zam Zam Foundation Hosts Multi-Religious Iftar: A Call for Unity and Mutual Respect. පොහොට්ටුවේ මෙවර මැයි පෙළපාලිය ගැන අද ගත්ත අළුත්ම තීන්දුව මෙන්න.