Post Views: 409 විවිධ වූ සමාජ විපර්‍යාසයන් හරහා ලෝකයේ බොහෝ රටවල ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතාව පිළිබඳව වර්තමානයේදී කතාබහට ලක්ව ඇති සමාජීය කරුණකි. සමාජය තුළ ආර්ථිකමය, සමාජමය, නෛතිකමය, දේශපාලනික වශයෙන් විවිධ ගැටලු ඇති වී තිබීම හේතුවෙන් කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටි කාන්තාවන් සේම පිරිමි අයවලුන් පවා පීඩාවට පත්වීම අපට දැකගත හැකිය. එසේ වුවත් මින් ප්‍රධාන වශයෙන් කාන්තාවන් සහ ගැහැනු දරුවන් හිංසනයට ලක්වන බවට සමාජ සමීක්ශණ මගින් තහවුරු වී ඇත. ලාංකීය සමාජ සන්ධර්භය තුල අප රටේ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතාව අතීතයේ පටන් පැවත එන දෙයකි. වර්තමානයේ මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වී තිබුනද අතීතයේ මෙවැනි කරුණු සම්බන්ධව කිසිවෙකුත් අදහසක් හෝ පළකිරීමට මැලිවිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතා සම්බන්ධයෙන් ඇතිවන ගැටලු විසඳීම සඳහා නැතිනම් අවම කිරීමට අපට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වනවා සේම සෘජු තීරණවලට ද එළැඹිය යුතුය. මේ තත්වය තේරුම් ගත් විවිධ පාර්ශව මූලිකවම ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතාව පිළිබඳව සමාජ කතිකාවතක් ඇතිකිරීමටත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධිකිරීමටත් හැකියාව ඇති ප්‍රධානතම පාර්ශවයක් වන මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු, සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වමින් සමාජ වෙනසක් ඇති කරමින් පවතී. එවන් සමාජ ක්‍රියාන්විතයක තවත් එක් පියවරක් වූ, “තම ඉරණම තීරණය කිරීමට කාන්තාවන්ට ඉඩ දෙමු” තේමාව යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී මාධ්‍ය වාර්තාකරණය හා උද්දේශනය (Advocacy) සඳහා ජනමාධ්‍යයේ දායකත්වය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කෙරෙන වැඩමුළු මාලාවේ තෙවන වැඩසටහන කොළඹ, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි. යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය මත,ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානය (NGOMDC) සහ සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය (SLCDF) එක්ව, සංවිධානය කල මෙම වැඩමුළුව සදහා මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේදී, “ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී මාධ්‍ය වාර්තාකරණය” යටතේ සිය සංවාදමය දේශනය ඉදිරිපත් කල ආචාර්ය, නීතීඥ කලා ඕෂධී පීරිස් මහත්මිය සඳහන් කලේ, මාධ්‍යකරණයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීවීම යනු, අන්තර්ගතය තුළ සහ භාවිතය තුළ ඇති ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අගතීන් හඳුනා ගැනීම සහ මුලිනුපුටා දැමීම කෙරෙහි දක්වන දැනුවත්භාවය සහ සවිඥානික උත්සාහය බවයි. ස්ත්‍රීන් සහ පුරුෂයන් මුහුණපාන සමාජ දේශපාලනික සහ ආර්ථික තත්ත්වයන් එකිනෙකට වෙනස් විය හැකි බව අවබෝධ කර ගනිමින් එකී වෙනස්කම් සාධාරණ අයුරින් නිරූපණය කිරීමට වග බලා ගැනීම සියල්ලන්ගේම වගකීමක් බව පෙන්වා දුන් ආචාර්ය කලා, මාධ්‍යවේදීන් හුදෙක් කාන්තා පාර්ශවයේ අදහස් ඇතුළත් කිරීමට සීමා නොවී කතාංග තෝරා ගැනීමේදීත් පර්යේෂණ ක්‍රියාවලිය තුළදීත් සම්මුඛ සාකච්ඡාවලදීත් ලේඛනයේදීත් දෘශ්‍ය මාධ්‍ය භාවිතයේදීත් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කෙරෙහි සිය අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දෙන ලදී. එමෙන්ම තවදුරටත් සමාජයේ ආන්තිකරණයට ලක් වූ ප්‍රජාවන් වශයෙන් සැලකෙන ග්‍රාමීය කාන්තාවන් ආබාධිත ප්‍රජාව LGBTQ ප්‍රජාව සහ සුළුතර ජන වර්ගද නියෝජනය වන පරිදි වාර්තාකරණයේ නිරත වීම මාධ්‍ය සතු වගකීමක් බවත් ඔවුන්ගේ හඬටත් නිසි තැන ලැබෙද්දී සමාජය වඩාත් දැනුවත් සහ ප්‍රජාත්‍රාන්තික වනු ඇති බවත් ඇය සඳහන් කරන ලදී. මෙම වැඩමුළුවේ දී, “උද්දේශනය සඳහා ජනමාධ්‍යයේ දායකත්වය ලබා ගැනීම” යන මැයෙන් සිය දේශනය ඉදිරිපත් කල ප්‍රවීන මාධ්‍ය උපදේශක ආනන්ද ජයසේකර මහතා සදහන් කලේ, වාර්තාකරණයේදී සමාජයේ අවදානම් හෝ පීඬාවට පත්විය හැකි ජනතාවගේ අදහස් මතවාද සඳහා වේදිකාවක් සැකසීමට මාධ්‍යයට හැකි බවයි. එමෙන්ම, එය ප්‍රවෘත්ති වාර්තාකරණයේදි මෙන්ම විශේෂාංගයකදී සිදුකල හැකි නමුත් විශේෂාංග වාර්තාකරණයකදී වඩා ඉහල ඵලදායිතාවයක් අත්කරගත හැකි බවයි. නව මාධ්‍යකරණ ක්‍රමවේද ගැන අවධානය යොමුකරමින් දෘෂ්‍ය කතා ගොඩනැගීම සම්බන්ධව සිය ඉදිරිපත් කිරීම සිදුකල ප්‍රභාෂා චතුරංගි මිය ජංගම දුරකථනය භාවිතා කරමින් කතාවක් සැකසීම ගැනත් ජංගම මාධ්‍යකරණය ගැනත් සිය දැනුම හා අත්දැකීම් සහභාගීවූවන් සමග බෙදාගන්නා ලදී. නව ගෝලිය ප්‍රවණතා සමග ඉදිරියට යමින් තරගකාරී සමාජයක මාධ්‍යකරණයේ නිරතවන බොහෝ දෙනෙකු සිය කාර්ය බහුලතාවය මත හෝ ආයතනික අවශ්‍යතා මත වැඩිදුර නොසිතා බැහැර කරන යම් යම් කරුණු කාරණා තුලින් සමාජය තුල වෙනසක් ඇතිකිරීම කල හැක්කේ කෙසේද යන්නත් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරතවන්නේ කෙසේද යන්නත් මෙම වැඩමුළුවේදී සාකච්ඡාවට ලක්විය. Post navigation ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම මෙන්ම අයාල ආඥා පනත අවභාවිතා කරනවා. රටේ ලිංගික වෘත්තිය නිතිගත කිරීම කල යුතුද ? මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළි දක්වයි.