ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම් සහ නොසලකා හැරීම් නොමැතිව සමාජගත කිරීම සදහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යෙව්දීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සදහා සංවිධානය කල වැඩමුළුවක් පසුගියදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්වුනි.

ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවේ දේශන සඳහා, මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා, වෛද්‍ය හරිස්චන්ද්‍ යකන්දාවල, ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් යන මහත්වරුන් සහභාගී විය.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන් පමණක් නොව පොදු ස්ථානයක අත් අල්ලාගෙන සිටීම මත පමණක් ම ‘අපරාධයක්’ සිදුකළේ යැයි චෝදනා ලබන යුවළයන් පවා අත්අඩංගුවට ගැනීමට යටත්විජිත සමයේ බලාත්මක කරනු ලැබු පාදඩ ආඥා පනත භාවිතා කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙන් සහතික කර ඇති මානව හිමිකම්වලට පටහැනි බව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම, මෙරට අධිකරණ තීන්දු අනුව තහවුරු වී ඇත්තේ, ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්කේ එවන් අයෙකු “පොදු මාවතක හෝ මහාමාර්ගයක කලහකාරී හෝ අනිසි ලෙස හැසිරෙන්නේ” නම් පමණක් මිස වාණිජ ලිංගික වෘත්තියේ නියැලීම යන ක්‍රියාව මත නොවන බවයි. එසේ නමුත් පොලීසිය විසින් “ලිංගික වෘත්තියේ නියැලෙන කාන්තාවන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම, ඔවුන් සතුව කොන්ඩම තිබීම ලිංගික වෘත්තියේ නියැලෙන බවට සාක්ෂියක් ලෙස සැලකීම සහ මෙම කාන්තාවන් හිංසනයට, ලිංගික අල්ලසට හා කප්පම් ගැනීමට භාජනය කිරීමට” පාදඩ ආඥා පනත භාවිතා කිරීම නිරන්තරයෙන් සිදුකරන බවත් මෙහිදී සාකච්ඡා කෙරුනි. 

මෙම යල්පැන ගිය නීති අවලංගු කිරීමට පාර්ලිමේන්තුව වහාම කටයුතු කළ යුතු බවත් ඉන් ඔබ්බට අවශ්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) හෝ නීතියේ බැහැර නොකොට තබාගත යුතු යම් කොටසක් පවතීන්නේ නම් ඒවා නිශ්චිත ව්‍යවස්ථාදායකයකට යටත් කොට සමාලෝචනය කර ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් මෙම වැඩමුළුවේදී අවධාරණය කෙරුණි. එමෙන්ම ලිංගික ශ්‍රමිකයන්ට අදාලව ගෙන එනු ලබන ඕනෑම නව නීතියක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් වලට අනුකූල විය යුතු බවටද අදහස් ප්‍රකාශ වූයේ පවතින අපැහැදිලි නීතියේ අත්තනෝමතික භාවිතය හේතුවෙන් බොහෝ අහිංසක පුද්ගලයන්, විශේෂයෙන්ම කාන්තාවන් සහ LGBTI ප්‍රජාව නිරන්තරයෙන්ම පීඬාවන්ට ලක්වීම සිදුවන බැවින් බවත් සකාච්ඡාවට ලක්විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *