Post Views: 351 මාර්තු මාසය යනු ලොව කාන්තාවන්ට සුවිශේෂි මාසයකි. වසරකට වරක් යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇත්තේ මාර්තු 08 දිනට වීම එයට හේතුවයි. මෙවන් සුවිශේෂි දිනයක ලාංකීය අපට අමතක කල නොහැකි විශේෂිත කොට්ඨාශයක් ගැන අපගේ මතක අළුත් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගනිමු. ඉතිහාසය පුරා වීරවරියෝ බිහි වූහ. එහෙත් ඒ මහා වීරත්වය පුරුෂ මූලික සමාජයක පුරුෂ වික්‍රමයන්ගේ මහෝඝයෙන් යටපත් වී ගියේය. සිංහලයේ ඉතිහාසයම ගොඩනැඟෙන්නේ රණබිමෙහි නැඟුණු වික්‍රමයන්ගෙනි. අපට නොතේරුණ දැවැන්ත සත්‍යය නම් ඒ සෑම රණ සෙබළෙක්ම වෙනුවෙන් ජීවිතය කැප කළ ගැහැනියක සිටි බවය. එමෙන්ම රණබිමෙහි නැඟෙන විසල් පුලිඟු මැද යුද වැදී අභීතව පොළොව සිප ගෙන අවසන් ගමන් ගිය නමක් නැති කාන්තාවෝ ඉතිහාසය පුරාම වූහ. ඒ අතර මහා රණසේනා මෙහෙයවමින් මහා පැරකුම්බාවන් ඉතිහාසයේ අසහාය පෞරුෂවත් රණකාමී රජවරුන්ට අභියෝග කළ සුගලාවන් වැනි මහා කාන්තා පෞරුෂ ද විය. ඉතිහාසය ගලා එන්නේ කාන්තාවන්ගේ වීරත්වය පිළිබඳ යටපත් වූ අනේක විධ කතා මධ්‍යයේය. මෙරට පැවති දශක තුනක යුද ගැටුම් අතර ඒ රුදුරු මරණීය පරිසරයේ අනේක විධ ගැහැටවලට මුහුණ දෙමින් සෙබළු හා උරෙන් උර ගැටී රණබිමේ සිදු වුණු කාන්තා නියෝජනය ලැබිය යුතු බරින් තක්සේරු වී යැයි නොසිතමි. යුද සමයේ 26,000 කට අධික රණවිරු පිරිසක් ජීවිතය පූජා කළහ. ඒ අතර රණවිරුවරියෝ 25 දෙනෙක් වෙති. ඔවුන් ද ජීවිතය පූජා කළේ මේ බිමේ සෛවරීත්වය වෙනුවෙනි. අප අද ගෙවා දමන්නේ ඔවුන් හෙළූ අවසන් සුසුම්වලින් ලද ජීවිතය ය. බොහෝ තරුණියන්ගේ ප්‍රාර්ථනය මුදු මොළොක් දිවි පෙවතකි. දුහුවිල්ලට, හිරු එළියට නිරාවරණය නොවී මහත් ආයාසයකින් ස්වකීය රූ සපුව ආරක්ෂා කරගැනීමේ ව්‍යායාමයක නිරත වී සිටිය දී ඒ සියලු අභිලාෂ පසෙකලා ගිනි ගහන තල් අරඹේ දුහුවිලි කුණාටු මැද ගිනි අවිය තෝරාගෙන ස්වකීය ජීවිත ඒ තල් අරඹ යට පූජා කළ තරුණියන් සම්බන්ධ තැබිය යුතු බර කොතෙක්දැයි කල්පනා කරමි. අද වන විට යුද හමුදාව තුළ සැලකිය යුතු කාන්තා නියෝජනයක් වේ. ඔවුන්ගේ මෙහෙවර වත්මන් යුද හමුදාවට දැවැන්ත ශක්තියක් එක්කොට ඇත. නිලධාරිනියන්, සෙබළියන් ලෙස ඔවුහු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සිය සේවාව ලබා දෙති. එහිදී පරිගණක, නීති, වෛද්‍ය, විගණන, කෘෂි, ක්‍රීඩා, ඇඟලුම්, රියැදුරු, සූපවේදී, රූපලාවණ්‍ය, කලා, ක්ෂේත්‍ර රාජකාරි ආදී බොහෝ පැති ඔස්සේ ඔවුහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කරති.යුද්ධය පැවති සමයේ 90% ක්ම කාන්තා දායකත්වය හිමි වූයේ ක්‍රියාන්විත අවශ්‍යතා වෙනුවෙනි. එහිදී විටෙක ඇය බංකරයක අවි දරා සිටින්නීය. තවත් විටෙක මාර්ග බාධකයක රාජකාරියකය. තවත් විටෙක ක්ෂේත්‍ර වෛද්‍ය මධ්‍යස්ථානයක තුවාල ලත් සහෝදර සගයන්ට ප්‍රතිකාර ලබා දෙමිනි. එසේම, ක්‍රියාන්විත පරිසරයේම හිඳිමින් අනෙකුත් භට පිරිස්වල වැටුප්, සුබසාධක ආදී පාලන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් මැදිහත්වීම ද අතිමහත්ය. මේ ජීවිතය පූජා කළ සෙබළියන් 25 දෙනා බිම් බෝම්බවලට ගොදුරුව, වෙඩි ප්‍රහාරවලට ලක්වීමෙන් හෝ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත්ව අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තේ දිවා රෑ නොතකා එවැනි රාජකාරි දරමින් සිටියදී ය. ඔවුන් පිළිබඳ වූ තොරතුරු සමුදාය ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සතුව ඇත. ඔවුන්ගෙන් ලද සහාය මත ඔවුන්ගේ ජීවිත සොයා යෑමේ කටයුත්ත ඇරඹුවෙමි. යුද හමුදා කාන්තා බළකායඔරුවක නැඟ රට වෙනුවෙන් මහා සාගරයට බිලි වූ විහාර මහා දේවියගේ රුව සහිත ලාංඡනයක් හොබවමින් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ (SLAWC) පළමු බළ ඇණිය පිහිටුවන්නේ වර්ෂ 1979 සැප්තැම්බර් 1 වැනි දා ය. බ්‍රිතාන්‍ය හමුදාවේ කාන්තා රාජකීය හමුදා බළකායේ සහාය ඇතිව මෙම බළකාය පිහිටුවා තිබිණි. එය ව්‍යුහයෙන් එහි මවු සංවිධානයට සමාන වූ අතර, එහි පළමු පරම්පරාවේ කාන්තා නිලධාරි ශිෂ්‍යභටයන් බ්‍රිතාන්‍යයේ පුහුණුව ලැබූහ. අපේක්ෂකයන් වයස අවුරුදු 18 – 20 අතර විය යුතු අතර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබීම අවශ්‍ය විය. නිලධාරි අපේක්ෂකයන් උසස් පෙළ සමත්ව තිබිය යුතුය. බඳවා ගැනීම සඳහා වසර පහක සේවා වගකීමක් (පිරිමි සඳහා සමාන) ඇතුළත් වූ අතර, මෙම කාල සීමාව තුළ බඳවා ගන්නන්ට විවාහ වීමට ඉඩ නොලැබුණි. දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පැවති පුහුණු පාඨමාලාවේදී අවි ආයුධ සහ සටන් යාත්‍රා පුහුණුව හැර පිරිමි වැඩසටහනට සමාන සරඹ හා ශාරීරික පුහුණු වැඩසටහනක් මඟින් බඳවා ගැනීම් සිදු විය. කාන්තා සොල්දාදුවන්ට පිරිමින්ට සමාන පරිමාණයට අනුව වැටුප් ගෙවන ලදි. නමුත් මුල් වකවානුවේ දී කාන්තා බළකායේ සේවාව වශයෙන් හෙද සේවය, සන්නිවේදන සහ ලිපිකරු කටයුතු සඳහා සීමා විය. මුල්ම ක්‍රියාන්විත මෙහෙයුමකාන්තා බළකායේ මුල්ම ක්‍රියාන්විත මෙහෙයුම මීට වසර 35 ක අතීතයකට දිව යන්නේය. වර්ෂ 1987 මැයි 27 සිට 1988 ජූනි 11 දක්වා පැවති වඩමාරච්චි මෙහෙයුමට එක් නිලධාරියෙක්, හෙදියන් තිදෙනෙක් සහ තවත් සොල්දාදුවන් හතර දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තාවන් සටන් මෙහෙයුම් සඳහා සහභාගී වූ පළමු අවස්ථාව මෙය විය. එහෙත් කාලයත් සමඟ යුද්ධය මහා පිළිකාවක් ලෙසින් සමාජය වසාගෙන ඔඩු දුව ගියේය. තරුණියෝ සිය සුකුමාර ජීවිත බලාපොරොත්තු පසෙක ලා හමුදාවට එක් වූහ. ඉදිරි බළඇණි සමඟ රැඳෙමින් ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණහ. දිවි පිදූ පළමු කාන්තා සෙබළියඒ රුදුරු යුද ගිනි මැද ජීවිතය පූජා කළ පළමු කාන්තා සෙබළිය හේරත් මුදියන්සේලාගේ රූපවතී ය. ලාන්ස් කෝප්‍රල් රූපවතී ගේ සෙබළ අංකය සෙ/2ආර්00077 ය. වර්ෂ 1996.08.09 දින කීරමලේ දී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකට හසුවී ඇය ජීවිතය පූජා කරන්නීය. ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු කාන්තා සෙබළිය දිවි දුන් මේ ඓතිහාසික අඳුරු දිනය ගෙවී දැනට අවුරුදු 27 ක් ඉක්මවා ගොස්ය. රූපවතී රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව මිය යන විට වයස අවුරුදු 22 කි. ඒ අතීත මතක සිහි කරන විට ඇගේ සොයුරිය තවමත් කතා කරන්නේ හඬා වැටෙමිනි. අපි රූපවතීගේ සොයුරිය හේරත් මුදියන්සේලාගේ පුෂ්පා කුමාරිගෙන් රූපවතිය ගැන මතක විමසුවෙමු. රජරට ජීවිතවල එකල සුන් වී ගිය ජීවිත ඛේදවාචකය ඇය අපට කීවාය.“අනේ මගෙ නංගි… එයා යෝධ බලය තියන කෙනෙක්. ඉතාම නිශ්ශබ්දයි. පුදුමාකාර මනුස්සකම් ටිකක් එයාගෙ තිබුණා. අපි කෙල්ලට ගෙදරට හුරතලේට කිව්වෙ සුරංගනී කියලා. එයැයි තමයි පවුලෙ බාලයා. අනික් සහෝදරියො බැඳලා වෙන් වෙලා ගිහින්. එයයි අම්මයි තාත්තයි හිටියෙ මාත් එක්ක.අපේ අම්මයි තාත්තයි දෙන්නම කළේ ගොවිතැන. ගෑනු දරුවොම අට දෙනෙක් පවුලේ. අම්මයි තාත්තයි ගොවිතැන් කරලා අපි අට දෙනාටම උගන්නගෙන අපිව පාරක්වත් ගහන්නෙ නැතිව හැදුවෙ. ඒ දවස්වල අපි හිටියෙ වවුනියාවෙ. ඒත් එක දිගට කොටි කරදර නිසා අපිට උන්හිටි තැන් නැති වුණා. අපි සේනපුර කඳවුරට ආවා. නංගි සාමාන්‍ය පෙළ විභාගය ලිව්වෙ සේනපුර ඉස්කෝලෙන්. විභාගෙ ලියලා ඉවර වුණාට පස්සේ එයා කැමැත්තෙන් උන්නා හමුදාවට යන්න. ඒත් අම්මයි තාත්තයි කැමති වුණේම නෑ. ගෙදර පොඩි එකී… ඉතින් හමුදාවට යවන්නෙ කොහොමද කියලා ඇහුවා. ඒත් අන්තිමට පොඩි එකීගේ කැමැත්ත නේද කියලා යන්න ඉඩ දුන්නා. එයා පුහුණුවට ගියෙත් යාපනේ. ගිහින් හරිම සතුටින් තමයි හැම කටයුත්තක්ම කළේ. පුහුණුව ඉවර වෙලා කීරමලේ කෑම්ප් එකේ තමයි සේවය කළේ. අනේ හමුදාවට ගිහින් මාස තුනක් නෑ… එක පාරයි නිවාඩු ආවෙ. ඇවිත් පුදුම සන්තෝසෙන් ඉඳලා ගියෙ. ආයෙ නිවාඩු එන දවස කියලා තිබුණා. ඉතින් අම්මයි තාත්තයි ගෙදර හිටවපු රට කජු ගලවලා වේළලා, ඉරිඟු කඩලා නංගි එනකම් බලාගෙන ඉන්නවා. ඒත් ඊළඟ නිවාඩුවේදී නංගි ගෙදර ආවෙ පෙට්ටියේ…” පුෂ්පා කුමාරි ඉකි ගසමින් හඬන්නට වූවාය. ඉන් අනතුරුව ඒ නිවෙස ඛේදවාචකයක් වී තිබිණි. පොඩ්ඩී වළ දැමුවේ ගෙදර වත්තේම කෙළවරකය. ඒ දෙස බලාගෙන හූල්ලමින් සිටි රූපවතීගේ අම්මා ගුණවතී සිය බාල දියණිය මිය ගොස් මාසයක් යන්නට කලින් අවසන් ගමන් ගියාය. අම්මා සහ බාල දියණිය අවසන් ගමන් ගොස් මාසයක් ඉකුත් වූ පසු ඇගේ තාත්තා එච්. එම්. මුදියන්සේ මිය ගියේය. ලාන්ස් කෝප්‍රල් රූපවතී යුද්ධයේදී දිවිපිදූ පළමු සෙබළිය මෙන්ම යුධ හමුදා ස්වෙච්ඡා බළසේනාවේ සේවයකරමින් සිටියදී මියගිය පළමු සෙබළියද වන්නේය. ඒ හා සමගම යුධ හමුදාවේ නිත්‍ය බළසේනාවේ සෙබළියක් පළමු වරට මියයන්නේ 1997 ජනවාරි 02 වැනිදාය. රණවිරු කෝප්‍රල් ඉරේෂා නිල්මිනි ද සිල්වා1974.05.02 වනදා උපත ලද ඉරේෂා නිල්මිණි ද සිල්වා නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1992 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් උසස් ලෙස සමත් වූවා ය.සිංගප්පූර් ගුවන් සේවය ඔබ්සර්වර් පුවත්පත හා ලේක්හවුස් ආයතනය 1992 දී සංවිධානය කරන ලද මිස් ශ‍්‍රී ලංකා වර්ල්ඩ් 92’ රූප සුන්දරී තරගයට ඉදිරිපත් වී අවසන් නිරූපිකාවන් 15 දෙනා අතරට ඒමටද ඉරේෂා සමත් වූවා ය. අනතුරුව ඇය ජාතික තරුණ සේවා සභාවේ ජපන් භාෂා පාඨමාලාවක් හදාරා නාරාහේන්පිට ආසිරි රෝහලේ අමුත්තන් පිළිගැනීමේ නිලධාරීනියක් වශයෙන් සෙවය කල අතර 1994 දී හමුදා සේවයට එක් වීමට තීරණය කලේය.එහිදී එම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටි තරුණියන් 8,000 කින් යුද හමුදාවට තෝරා ගත් තරුණියන් 08 දෙනාගෙන් පළමු තැනට ඇය තේරී පත්විය.යුද හමුදා පොලිස් කාන්තා සේවාවට 1994 ඔක්තෝබර් 28 දා ඇතුළත් වූ ඇය 1994 දෙසැම්බර් 27 වනදා පළමු වන ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ 15 වැනි පුහුණුවීම් කන්ඩායමේ ආධුනික සෙබළියක් ලෙස හමුදා පුහුණුව ලැබුවාය.ලාන්ස් කෝප‍්‍රල් තනතුරක් සඳහා 1995 මාර්තු 08 වනදා උසස් කරනු ලැබූ ඉරේෂා යුද හමුදා පොලිසියේ 39 වැනි විනයාරක්ෂක රෙජිමේන්තුවට ඇතුළත් වී 1995 මාර්තු මස සිට 1995 ජූනි මස 02 වනදා දක්වා යුද හමුදා පොලිස් පුහුණුවත් ලැබුවාය.සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප‍්‍රධානත්වයෙන් 1995 අප්‍රේල් 14 වනදා කොළඹ යුද හමුදා කී‍්‍රඩා පිටියේ පැවැති යුද හමුදා අවුරුදු කුමාරි තරගයෙන් ද ඉරේෂා තෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදී. තිස් අට වන යුද හමුදා පොලිස් බළකායට ඇතුළත් ව පලාලි, අනුරාධපුර ,කන්කසන්තුරේ යන පළාත්වල 1995.8.14 දින දක්වා සේවය කර 1996 දෙසැම්බර් 24 දින දක්වා යුද හමුදා පොලිස් මූලස්ථානයට අනුයුක්තව ඇය සේවය කලේය.එවකට යුද හමුදාපතිව සිටි රොහාන් දලුවත්ත මහතාගේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිය ලෙස ද සේවය කරමින් සිටියදී 1996.12.25 සිට 1997.12.26 දින දක්වා යාපනයේ මෙහෙයුම් රාජකාරි සදහා යෑමට ඇයට නියෝගයක් ලැබිණි. ඇය මියයාමට පෙර දින එනම් වර්ෂ 1997 ජනවාරි0 01 වනදා උදෑසන 06.00ට පලාලිහි දී ඇගේ දින පොතේ, තමාටම ‘සුබ නව වසරක් (“I wish to myself that this Year will be a prosperous to me”) යනුවෙන් සටහන්කර තිබීම ඉතා සංවේදී සිදුවීමකි. එහිදී ක්‍රියාන්විත අවශ්‍යතාවයකට තවත් සෙබළියන් දෙදෙනෙකු සමගින් ට්‍රැක්ටරයක ගමන් ගනිමින් සිටියදී,1997 ජනවාරි 02 දින යාපනය තිරුනල්වේලි ප්‍රදේශයේදී කුරිරු ත්‍රස්තයන් විසින් එල්ලකල ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ලක්ව සිය ජීවිතයෙන් සමු ගත්තාය. රණවිරු ලාන්ස් කෝප්‍රල් ශ්‍රියානි දීපිකාමේ අමානුෂික යුද්ධයේ දී දිවි පූජා කළ තවත් යුද හමුදා සෙබළියකගේ ජීවිත පුවත සොයා යන්නට හැකි විය. ඇය ජීවිතයෙන් සමුගන්නේ සිය බාල සොහොයුරන් තිදෙනාට නිසි මඟ පෙන්වීම ලබා දී ගෙදර ජීවිත බර තරුණ වියේ දී කරට ගත් උත්තම ගැහැනියක ලෙසිනි. ඇය සෙබළ අංක සෙ/2ආර්00936 දරන ලා/කෝ ශ්‍රියානි දීපිකා ය. ශ්‍රියානි ජීවිතය පූජා කරන්නේ වර්ෂ 1997.03.06 දින වවුනතිව්හිදී රාජකාරී කරමින් සිටියදී මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙනි. ශ්‍රියානිගේ ප්‍රාර්ථනා සහිත මඟ පෙන්වීම මැද ගිය ගමනේ අවසන ඇයගේ වැඩිමහල් සොයුරා මහින්ද රාජ් කුමාරසිරි දැන් ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරයෙකි. දෙවැනි සොයුරා මහින්ද රාජ් ආරියසිරි නාවික හමුදාවේය. බාල සොයුරා මහින්ද රාජ් ධර්මසිරි පොලිස් සේවයේය. මහින්ද රාජ් කුමාරසිරි සිය විරු සොයුරිය පිළිබඳ අතීත මතක ගොන්නක් අප ඉදිරියේ දිග හැරියේය.“අපි හිටියෙ කන්තලේ වාන්ඇළ. ඒ දවස්වල එල්ටීටීඊ මායිම් ගම්මානයක්. අම්මයි තාත්තයි ගොවිතැන් කළේ. අක්කා ඉගෙන ගන්න හරිම දක්ෂයි. එයා ගියේ කන්තලේ සෙන්ට්‍රල් එකට. උසස් පෙළ කළේ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයෙන්. එයා උසස් පෙළ හොඳට සමත් වුණා. විද්‍යා පීඨ යන්න ලකුණු 02 යි එයාට අඩු වුණේ… ගුරුවරියක් වෙන්න එයා දැකපු හීනය එතනින් බොඳ වුණා. අපි ගියේ ගමේ ඉස්කෝලෙට. මට මතකයි අක්කා පාන්දර ඉස්කෝලෙ යන්න අපිට කලින් පිටත් වෙන්නේ අපේ ඇඳුම් පවා මැදලා තියලා. අක්ක උසස් පෙළ කරලා ඉවර වුණා. ඒ දවස්වල ගෙදර ආර්ථික ප්‍රශ්න හොඳටම. කන්න කීපයක් ගොවිතැන් පාළු වුණා. කන්තලේ සීනි ෆැක්ටරි එකේ තාත්තා කාලයක් වැඩ කළා. ඒකත් වැහුවා. ඔය අතර තාත්තාගෙ කකුල කැඩිලා ටික කාලයකට ඔත්පළ වුණා. අක්කා අපි තුන්දෙනාට උගන්නලා ගෙදර බර කරට ගන්න මුලින්ම ගාමන්ට් ෆැක්ට්‍රි එකක රස්සාවට ගියා. අවුරුදු දෙකක් ඒ රස්සාව කළා. ඔය අතරේ තමයි ගමේ අක්කලා පස් දෙනෙක් එක්ක එයා හමුදාවට යන්නෙ. “අම්මා කැමති වුණේම නෑ… තාත්තත් එහෙමයි. ඒත් අන්තිමට තාත්තා හිත හදාගෙන අත්සන් කළා.” තාත්තා මහින්ද සහ අම්මා සුමනාවතී ශ්‍රියානිට අකමැත්තෙන් සිය කැමැත්ත දී තිබිණි. “අක්කා හමුදාවට බැඳුණේ අවුරුදු 22 දි. අවුරුදු එක හමාරයි එයා හමුදාවේ හිටියෙ. ඒ ඉන්න කාලය ඇතුළෙ එයා අසීමිතව කැප වෙලා වැඩ කළා. ඒක පහසු රාජකාරියක් නෙමෙයි ඒ දවස්වල. මාර්ග බාධකවල අව්ව වැස්ස නැතිව මාරක අවදානම් එක්ක කරන රැකියාව එයා සතුටින් කළා. පුළුවන් හැම වෙලාවෙම අපිට ඉතාම හොඳින් ජීවිත අවබෝධය ලබා දුන්නා. අධ්‍යාපනයේ වටිනාකම සහ ගොඩ එන්න තියන එකම පාර එය පමණක් බව කියලා දුන්නා. ඇය හින්දම තමයි මම අධ්‍යාපනයෙන් මේ තරම් දුරක් සාර්ථක වෙන්නෙ ඒ වගේ පරිසරයක ඉඳගෙන. එයා නැතිවෙන කොට මම උසස් පෙළ පන්තියෙ. 97.03.06 වැනිදා නැති වුණේ. නැතිවෙන කොට එයාට අවුරුදු 24 යි. ජීවිතය ගැන ගොඩාක් ලොකු බලාපොරොත්තු අක්කට තිබුණා. එයා නැති වෙන්නෙ නිවාඩු ඇවිත් ගිහින් දවස් තුනකින්. “ඒ මොහොත ඔහු තවමත් සිහි කරන්නේ කම්පනයෙනි. සොහොයුරා මහින්ද රාජ් කුමාරසිරිගේ කම්පිත හඬ තවමත් ඇසෙමින් තිබේ. මේ සෑම වීරවරියකගේම කතාව පසුපස සැඟවුණු තවත් මහා කතාවක් තිබේ. සමාජයක් ලෙස අපි ඊට සංවේදී විය යුතුව ඇතැයි සිතමු. විශේෂිතම කරුණ නම් රට වෙනුවෙන් මෙවැනි කැප කිරීමක් කල මෙම කාන්තාවන් ගැන යුධ හමුදා වෙබ් අඩවියේ හෝ දිවිපිදූ පළමු කාන්තා සෙබළිය අයත් යුධ හමුදා ස්වෙච්ඡා බළ සේනාවේ වෙබ් අඩවියේ හෝ ඔවුන් ගැන කිසිදු සටහනක් නොමැති වීමයි. (යුධ හමුදා කාන්තා බලකා වෙබ් අඩවියේ පමණක් මෙම විරුවියන් ගැන සටහන්ව ඇත.) (තොරතුරු උපුටා ගැනීම – සිළුමිණ/සමාජ මාධ්‍යයන්) Post navigation ජී.එල්. පීරිස් පොහොට්ටු සභාපතිකමෙන් විසිවෙයි. මාසයකට දින 40 ක් සහිත විදුලි බල මංඩලයේ අළුත්ම බිල් කියවීම.