ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා දැවැන්ත වියදමක් දැරීමත්, ඒ වෙනුවෙන් ලබාදුන් මූල්‍ය අනුග්‍රහයේ අරමුණ හා ඉන් අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳවත් මේ වනවිට ප්‍රශ්න මතුව තිබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු මෙම සමුළුවේ සත්කාරකත්වය මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් දරන බව සඳහන් වුවද, ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට අමාත්‍යාංශ පත්‍රිකාවක් ඉදිරිපත් කර දැනුවත් කිරීමක් සහ අනුමැතියක් ලබාගෙන තිබූ බවද සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ඒ සඳහා වැය කළ මුදල් රජයේ මුදල් නොවන බවයි. එමෙන්ම, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට එවැනි වියදමක් දැරීමේ හැකියාව පවතින බවත්, ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් මෙම ආයෝජනය සිදුකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත්, මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙම සමුළුව පැවැත්වීම වෙනුවෙන් වැය කළ මුදලට සරිලන සංචාරක ප්‍රවර්ධන ප්‍රතිලාභයක් ශ්‍රී ලංකාවට සැබවින්ම හිමිවේද යන්නයි.

ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ සමුළු මීට පෙරද ලෝකයේ විවිධ රටවල පවත්වා තිබේ. එම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන නියෝජිතයන්ද සහභාගී වී ඇති අතර, ඔවුන් නැවත මෙරටට පැමිණීමෙන් පසුව එම රටවල සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙරට මාධ්‍ය ආයතන විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට පැහැදිලි තොරතුරු ඉදිරිපත් වී නොමැති බවට අතීත වාර්තා විමසීමේදී පෙනී යයි.

එසේ නම්, මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වූ සමුළුවෙන් පසුව විදේශීය මාධ්‍ය ආයතන හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය, සංස්කෘතිය සහ සංචාරක ගමනාන්ත ජාත්‍යන්තරයට ප්‍රවර්ධනය කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද? ඒ සඳහා අදාළ මාධ්‍ය ආයතනවලින් නිශ්චිත එකඟතාවක් හෝ වැඩසටහනක් ලබාගෙන තිබේද? යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

මීට අමතරව, මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවිධානික එකමුතුව සම්බන්ධයෙන්ද තවත් අවද්ධානය යොමුකල යුතු කරුණක් මතු වේ.

මෙරට තුල ක්‍රියාත්මක ප්‍රධානතම මාධ්‍ය විකාශක සංවිධානය වන, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය තුළ මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් සාමාජිකත්වය දරන අතර, එක් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් හැර අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ආයතන එහි සාමාජිකයන් බව සඳහන් වේ. එහෙත් එම සාමාජිකත්වය නොදරන අදාළ මාධ්‍ය ආයතනය ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ සාමාජිකත්වය දරයි.

මෙම පසුබිම තුළ මෙරට මාධ්‍ය ආයතන අතර පවතින සංවිධානික සම්බන්ධතා, සහයෝගීතාව සහ එකමුතුව පිළිබඳවත් ප්‍රශ්න මතු වේ.

එකම මාධ්‍ය ක්ෂේත්‍රයක කටයුතු කරන ආයතන අතර අභ්‍යන්තර සහයෝගීතාව හා එකමුතුව පිළිබඳ ගැටලු පවතින්නේ නම්, එම මාධ්‍ය ආයතන ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා හරහා සමස්ත ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයටම සහ රටේ සංචාරක ප්‍රවර්ධනයට ප්‍රතිලාභ අත්කර දීම කෙතරම් දුරට සිදුවේද යන්න විමසා බැලිය යුතු කරුණකි.

ඒ අනුව, ආසියා-පැසිෆික් විකාශකයින්ගේ 63 වන මහා සමුළුව වෙනුවෙන් සිදුකළ ආයෝජනයේ සැබෑ ප්‍රතිලාභ මොනවාද? සමුළුවෙන් පසුව ජාත්‍යන්තර මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවට සංචාරක ප්‍රවර්ධනයක් ලැබෙනවාද? එසේම, මෙරට මාධ්‍ය ආයතන අතර පවතින සම්බන්ධතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර මොනවාද? යන ගැටළුවලට රජය පිළිතුරු ලබාදිය යුතු වේ.

සමුළුව අවසන් වී තිබුණද, ඒ වෙනුවෙන් වැය කළ මුදලට සරිලන ප්‍රතිලාභ රටට ලැබේද යන්න පිළිබඳ ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed