ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (Asia-Pacific Broadcasting Union – ABU) 63 වන මහා සමුළුව සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ප්‍රධානතම ප්‍රශ්න දෙක වන්නේ, එහි සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වන MTV Channel (Pvt) Ltd වෙත පැවරීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) මගින් රුපියල් 104,603,876 ක අනුග්‍රහයක් ලබාදීමට අනුමැතිය ලබාදීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ABU හි නිල තොරතුරු, එහි ප්‍රඥප්තියේ විධිවිධාන, ශ්‍රී ලංකාවේ සංචාරක පනත, මුදල් අමාත්‍යාංශයේ ලිපිය සහ ප්‍රසිද්ධියට පත් වූ අනෙකුත් වාර්තා සලකා බැලීමේදී ජනතාවට ගැටළුකාරී තත්වයක ඇති කරුණු කිහිපයක් සදහා පිලිතුරු ලබාගත හැකි බව පෙනී යයි. විශේෂයෙන්ම, සමුළුව පැවැත්වීම සඳහා සත්කාරක විකාශකයා තෝරාගැනීම සම්බන්ධව අවධානය යොමු කිරීමේදී එම තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ABU විසින් සිදුකළ තීරණයක් වන අතර, එකී තෝරාගැනීම සිදුවී ඇත්තේ 2024 ඔක්තෝබර් 20 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති ABU හි 118 වන පරිපාලන සභා රැස්වීමේදී ය. එහිදී MTV Channel (Pvt) Ltd, 2026 මහා සමුළුවේ සත්කාරකත්වය සඳහා තෝරාගැනීම අනුමත කළ බව එවකට මාධ්‍ය වාර්තා පල වී තිබුනි.

ABU හි නිල සාමාජිකත්වය 2026 වන විට සාමාජික සංවිධාන 224ක් රටවල් 66කින් සිටින බව සඳහන් කරයි. එහි Full Members, Additional Full Members, Associate Members, Affiliate Members සහ Institutional Members ලෙස සාමාජිකත්ව කාණ්ඩ පහක් තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ආයතන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී සේවය මෙන්ම මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතන වන දෙරන මාධ්‍ය ජාලය, MTV Channel සහ EAP Network ද එහි සාමාජිකත්වය ලබා සිටී.

මෙය වැදගත් වන්නේ ABU හි ප්‍රඥප්තියේ 7 වන වගන්තිය අනුව මහා මණ්ඩලය එහි උත්තරීතර ආයතනය වන බැවින් සහ පූර්ණ සාමාජිකයින්ට පමණක් සාමාන්‍ය ඡන්ද බලය හිමිවන බැවිනි. අමතර පූර්ණ සහ ආශ්‍රිත සාමාජිකයින්ට රැස්වීම්වලට සහභාගී විය හැකි නමුත් ඔවුන්ගේ ඡන්ද අයිතිය ප්‍රඥප්තියේ වෙනම විධිවිධානවලට යටත් වේ. එසේම, සාකච්ඡාවලට ප්‍රයෝජනවත් අදහස් ලබාදිය හැකි වෙනත් පුද්ගලයින්ට හෝ සංවිධානවලට සභාපතිවරයාගේ ආරාධනය මත සහභාගී වීමට ද අවස්ථාව ඇත.

ඒ අනුව සාමාජිකත්වය තිබීම මතම සමුළුවේ සත්කාරකත්වය හිමිවීම සිදු නොවන අතර රජයේ නාලිකාවක් ABU සාමාජිකයෙකු වීම පමණින් එයට සමුළුවේ සත්කාරකත්වය හිමිවිය යුතු බවට නීතිමය අයිතියක් ඇති නොවේ. එසේම, පෞද්ගලික නාලිකාවකට සත්කාරකත්වය ලැබීම පමණින් එය අවිධිමත් තේරීමක් බවට නිගමනයක් ද කළ නොහැකිය. එසේ හෙයින් සත්කාරකත්වය පිළිබඳ තීරණය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමය සතුවන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ කුමන මතිමතාන්තර පැවතියද සත්‍ය තත්වය නම් සත්කාරකත්වය වාර්ෂිකව විවිධ රටවලට ලැබෙන අතර එය සාමාජිකත්ව රැස්වීමකදී ගනු ලබන තීරණයක් බවයි.

මීළඟට උද්ගතවන ප්‍රශ්ණය නම්, පෞද්ගලික ආයතනයක් සිදුකරන වැඩසටහනක් සදහා රජයේ මුදල් රුපියල් මිලියන 104.6 ක අනුග්‍රහයක් අනුමත කළේ කුමන පදනමින්ද යන්නයි. මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමේදී, මෙම සමුළුව සහ ඊට අදාළ වැඩසටහන් සඳහා MTV Channel (Pvt) Ltd වෙත රුපියල් 104,603,876 ක අනුග්‍රහයක් ලබාදීමට අදාළ කැබිනට් අනුමැතිය පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යාංශයේ 2026 සැප්තැම්බර් 28 දිනැති MF/PE/CM/2026/232 අංක දරන ලිපියෙන් හෙළි වේ.

එම ලිපියට අදාළ කැබිනට් සංදේශය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් 2026 සැප්තැම්බර් 17 දින ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. කැබිනට් සංදේශයේ අංකය CP 26/1947/807/035 ලෙස සඳහන් කර තිබේ. එහි සදහන් වන පරිදි මෙම මුදල ABU මහා සමුළුව පමණක් නොව, ඊට අදාළ රැස්වීම්, සංගීත උළෙල සහ විනෝද චාරිකා වැඩසටහන ද ඇතුළත් කරමින් අනුග්‍රහය ලෙස ලබාදීමට යෝජනා කර තිබූ බව සදහන් වී ඇත.

මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ මුදල් සපයාගැනීමට යෝජනා කර තිබූ අයවැය ශීර්ෂයයි. SLTPB අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ සඳහන් තොරතුරු මත පළ වූ වාර්තාවකට අනුව, ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රචාරණය සඳහා වෙන්කර තිබූ අයවැයෙන් මුදල් මාරුකර දේශීය මාධ්‍ය සහ මාධ්‍ය හමුවීම් යටතේ මෙම අනුග්‍රහය ලබාදීමට යෝජනා කර තිබේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි, ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රචාරණය සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 350 ක අයවැය ශීර්ෂයෙන් රුපියල් 104,603,876 ක් දේශීය මාධ්‍ය අයවැය ශීර්ෂයට මාරුකිරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ. එම පත්‍රිකාවේ ගෙවීම් කාලසටහන ලෙස සියයට 60 ක් වන රුපියල් 62,762,326ක් සැප්තැම්බර් 30 ට පෙරත්, ඉතිරි සියයට 40 වන රුපියල් 41,841,550 ක් නොවැම්බර් මාසයේදීත් ගෙවීමට යෝජනා කර තිබූ බව එම වාර්තාවේ සදහන් වෙයි.

එසේ නම් සංචාරක පනත අනුව මෙම මුදල් වැය කළ හැකිද යන කරුන ගැන අවධානය යොමු කිරීමේදී මෙම ගනුදෙනුවේ නීතිමය පසුබිම වන 2005 අංක 38 දරන සංචාරක පනතේ 23 සහ 24 වගන්ති විශේෂයෙන් වැදගත් වේ. 23 වන වගන්තිය යටතේ සංචාරක සංවර්ධන අරමුදල පිහිටුවා ඇති අතර, එහි මුදල් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා යොදාගත යුතුය. එම වගන්තියේ 3 වන උපවගන්තිය අනුව සංචාරක ප්‍රවර්ධනය හෝ සංවර්ධනය සඳහා යම් සංවිධානයකට හෝ පුද්ගලයෙකුට දැරීමට සිදුවන වියදම් දරන්නට අරමුදලෙන් මුදල් ගෙවිය හැකිය. එහෙත් එය අදාළ රෙගුලාසිවලට අනුකූල විය යුතුය.

24 වන වගන්තියේ 8 වන උපවගන්තිය අනුව සංචාරක සංවර්ධන බද්දෙන් ලැබෙන මුදල් බෙදාහැරීමේදී සියයට 70ක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයටත්, සියයට 12ක් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයටත්, සියයට 14 ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියටත්, සියයට 4 ක් ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයටත් වෙන්කර ඇත. එසේ ලැබෙන මුදල් ශ්‍රී ලංකාව සංචාරක හා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය කිරීම සඳහා පමණක් යෙදවිය යුතු බවයි එම වගන්තියේ 9 වන උපවගන්ති‍යෙහි සඳහන් වන්නේ.

ඒ අනුව පෞද්ගලික මාධ්‍ය ආයතනයකට සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් සඳහා අනුග්‍රහයක් ලබාදීම කල නොහැකි කරුනක් ලෙස කිව නොහැකිය. නමුත් එම වියදම සංචාරක ප්‍රවර්ධනයට සෘජුවම සම්බන්ධද, අදාළ මුදල් භාවිතය පනතේ අරමුණට ගැළපේද, අනුමත ක්‍රමවේද අනුගමනය කළේද සහ ලබාගත් ප්‍රතිලාභ වියදමට සාපේක්ෂ ඵලදායිද යන කරුන ජනතාවට ප්‍රශ්ණ කල හැක.

කෙසේ වෙතත්, මෙම අනුග්‍රහය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ, රුපියල් මිලියන 104 කට අධික මුදල මහා භාණ්ඩාගාරයෙන් සෘජුව ලබාදුන් මුදලක් නොව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සතු අරමුදල්වලින් ලබාදුන් අනුග්‍රහයක් බවයි. එමෙන්ම එකී මුදල් “භාණ්ඩාගාරයේ මුදල් නොවේ” යන කරුණත් අමාත්‍යවරයා සදහන් කල කරුනකි. එසේ වුවත් එම අරමුදලට සංචාරකයින්ගෙන් අයකරන ඇමෙරිකානු ඩොලර් 5ක ගාස්තුවක් සහ හෝටල් ක්ෂේත්‍රයේ ආදායම මත අයකරන සියයට එකක සංචාරක සංවර්ධන බද්ද ඇතුළු ආදායම් ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත. එම නිසා මහා භාණ්ඩාගාරයෙන් සෘජුව මුදල් ලබා නොදුන් බව පැවසීමෙන් මෙම මුදල් පිළිබඳ අදාල රාජ්‍ය ආයතනවලට ඇති මහජන වගවීම අවසන් නොවේ.

සංචාරක සංවර්ධන අරමුදල නීතියෙන් පිහිටුවා ඇති අරමුදලකි. එහි ආදායම් ලැබෙන්නේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නීතිමය ගාස්තු සහ බදු මගිනි. ඒ අනුව එම මුදල් සාමාන්‍ය අමාත්‍යාංශ අයවැයකින් සෘජුව වෙන්කරන මුදල් නොවුණත්, නීතියෙන් නියම කළ පොදු අරමුණක් වෙනුවෙන් කළමනාකරණය කළ යුතු අරමුදලක මුදල් වේ. එබැවින් එම මුදල් පෞද්ගලික සමාගමකට ලබාදීමේදී ද නීත්‍යනුකූලභාවය, විනිවිදභාවය, වියදම් සාධාරණීකරණය සහ ප්‍රතිලාභ මැනීම සම්බන්ධයෙන් වගකීමක් පවතී.

අවසන් වශයෙන්, ABU 63 වන මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටට ජාත්‍යන්තර මාධ්‍ය අවධානයක් ලබාගැනීමටත්, සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටත් අවස්ථාවක් විය හැකි බැවින් මේ දෙස දේශපාලනික කෝණ වලින් නොබැලිය යුතු නමුත් එවැනි සමුළුවක් පැවැත්වීම වෙනුවෙන් රාජ්‍ය අරමුදලකින් රුපියල් මිලියන 104.6කට අධික මුදලක් ලබාදෙන විට, එම මුදල වැය කිරීමේ පදනම, තෝරාගැනීමේ සාධාරණත්වය, ගිවිසුම්ගත වගකීම් සහ රටට ලැබුණු සැබෑ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු මහජනතාවට දැනගැනීමට අයිතියක් තිබෙන බවත් ජනතාව ප්‍රශ්ණ කලයුත්තේ ඒ සම්බන්ධව බවත් අවබෝධකර ගත යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed